දකුණු සහ නැගෙනහිර ආසියාවේ සීකා රෝගීන් නැහැ - WHO

  • 2016 සැප්තැම්බර් 5
'ඒඩස්'(Aedes) මදුරුවා හරහා 'සිකා' වෛරසය පැතිරෙන නමුත් පර්යේෂකයන් පවසන්නේ වෙනත් මාර්ග ඔස්සේද වෛරසය පැතිර යා හැකි බවයි. Image copyright FELIPE DANA
Image caption 'සීකා' වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයෙන් එක් සීකා රෝගියකු හෝ වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං ඒ බව කියා සිටියේ කොළඹ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයේ ආරම්භක දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් සීකා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.

අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය පුද්ගලයන් කෝටි දෙසීයකට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවේ පසුගියදා පළ විය.

'මැලේරියාවෙන් නිදහස්'

ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාව යන රටවල සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බව නව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බවත් එහි සඳහන් විය.

මේ අතර ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අද දින සහතික කරනු ලැබිණ.

'මේක ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණයක්. විසි වන සියවසේ මැද භාගය වන විටත් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් දැඩිව පීඩා විඳි රටක්. නමුත් දැන් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස්' ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං කියා සිටියාය.

සමුළුව දින පහක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වී සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්