ජනපති ප්‍රධානත්වයෙන් ශාරීරික සුවතා වැඩසටහනක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශාරීරික ව්‍යායාම: ජනපතිගෙන් ආදර්ශයක්

  • 2016 සැප්තැම්බර් 6

ශ්‍රී ලාංකිකයන්ගෙන් 30% ක් නියමිත පරිදි ව්‍යායාමවල නිරත නොවන බව පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග පවසයි.

ඇය ඒ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ ශාරීරික සුවතා වැඩසටහනකින් අනතුරුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

හෘදයාබාධ, අධික රුධිර පීඩනය, අංශභාගය, දියවැඩියාව සහ පිළිකා වැනි බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ 72% මරණ සිදු වන බව වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග පෙන්වා දෙයි.

''දුම් පානය, අවශ්‍ය තරමට ව්‍යායාම නොකිරීම සහ නිරෝගිමත් නොවන ආකාරයට ආහාර ගැනීම යන කරුණු තුන එවැනි රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා.'' ඇය සඳහන් කළාය.

දිනකට මිනිත්තු තිහක කාලයක් නිසි ව්‍යායාමවල යෙදීමෙන් ඉහත කී ආකාරයේ බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට හැකි වනු ඇති බව ශාරීරික සුවතා වැඩසටහනට එක් වී සිටි වෛද්‍ය උපුල් ගුණසේකර කියා සිටියේය.