'ජාතික ආණ්ඩුව' උසාවියේ

  • 2016 සැප්තැම්බර් 9
Image caption පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් ගැන අධිකරණයට විභාග කිරීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍ය මණ්ඩලය පවසන්නේ

වත්මන් රජය ජාතික ආණ්ඩුවක්ද නැත්ද යන්න තීන්දු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය විසින් විරෝධතාවක් ඉදිරිපත් කරයි.

වත්මන් රජය ජාතික ආණ්ඩුවක් නොවන බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඉදිරිපත් කල පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලැබුණි.

එහිදී පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා මෙම විරෝධතාව මතුකළේය.

එම නීතිවේදියා කියා සිටියේ වත්මන් රජය ජාතික ආණ්ඩුවක් ලෙස ස්ථාපිත වීම පාර්ලිමේන්තුවේදී සම්මත කල යෝජනාවක් මගින් සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් ගැන අධිකරණයට විභාග කිරීමට හැකියාවක් නොමැති බැවින් පෙත්සම් නිෂ්ප්‍රභ කරන මෙන්ද අදාළ විරෝධතාව මගින් ප්‍රකාශ කර ඇත.

ඒඅනුව අදාළ විරෝධතාව ලබන මස 03 වනදා සලකා බලන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

පෙත්සම්කාර සරත් වීරසේකර පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගැනෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පක්ෂවලින් සමන්විත රජයක් බවයි.

එහෙත් එකසත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ස්ථාපිත කර ඇති රජයක් ජාතික ආණ්ඩුවක් නොවන බවට තීන්දුවක් දෙන මෙන්ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්