උතුරේ ඉඩම්: ඇමතිනි විජේකලාගෙන් සහතිකයක්

  • 2016 සැප්තැම්බර් 11
වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය විජේකලා මහේෂ්වරන්

තමන්ගේ මුල් ඉඩම් මාස තුනක් ඇතුළත නැවත ලබා දෙන බවට ඇමතිනි විජේකලා මහේෂ්වරන් ලබා දුන් සහතිකය මත කිලිනොච්චියේ පරෙවිපාන්චාන් ප්‍රදේශයේ වැසියෝ දින දාසයක් පුරා ගෙන ගිය අඛණ්ඩ උපවාසය අවසන් කළහ.

අහිමි වූ සිය ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටි උපවාසකරුවන් හමු වී සාකච්ඡා කළ වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිළිනොච්චියේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බවයි.

කිලිනොච්චියේ පවුල් 45 කට පමණ අයත් ඉඩම් අක්කර 140 ක් පමණ ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන සිටින බවට චෝදනා කරමින් ඉහත කී උපවාසය දියත් කොට තිබිණි.

අදාළ ඉඩම් රජයට අයිති නොමැති නිසා ඒවා මුල් අයිතිකරුවන්ට කඩිනමින් ලබා දීමටත්, විකල්ප ඉඩමක් ලබා ගැනීම සඳහා යුද හමුදාවට යම් කිසි කාලයක් අවශ්‍ය බවත් විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.

ඒ අනුව තමන් කිලිනොච්චියේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රජය විසින් ලබා දෙනු ලබන ඉඩම වෙත මාස දෙකක් ඇතුළත යාමට හමුදා බලධාරීන් පොරොන්දු වූ බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

Image caption ආරක්ෂක අංශ විසින් කිලිනොච්චියේ පවුල් 45 කට පමණ අයත් ඉඩම් අක්කර 140 ක් පමණ අත්පත් කර ගෙන සිටින බවට චෝදනා කරමින් උපවාසය දියත් කොට තිබිණි.

නාවික හමුදාව විසින් භාවිතා කරනු ලබන ඉරණතීවු ප්‍රදේශයේ ඉඩම් නිදහස් කොට දීමට නාවික හමුදාව සහ අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී එම ඉඩම් යළි මුල් අයිතිකරුවන්ට ලබා දෙන මෙන් අගමැතිවරයා නියෝග කළ බවත් ඇය පැවසුවාය.

පලාලි ගුවන් තොටුපල ප්‍රාදේශීය ගුවන් තොටුපලක් වශයෙන් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැරුණු විට සෙසු ඉඩම් ඒවායෙහි අයිතිකරුවන්ට ලබා දෙන බවද අමාත්‍යවරිය කියා සිටියාය.

සංවර්ධන ව්‍යාප්තිය වෙනුවෙන් ලබා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දෙන බවත් ඉඩම් අහිමි වන පිරිස්වලට විකල්ප ඉඩම් ලබා දෙන බවත් සඳහන් කළ ඇමතිවරිය ඉඩම් නොමැති උතුරේ වැසියන්ට ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් පැවසුවාය.

උතුරේ වැසියන්ට ඔවුන්ගේ මුල් ඉඩම් ආපසු ලබා දෙන දිනයක් පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් ආණ්ඩුවේ ඉදිරි වසර හතර ඇතුළත එම ඉඩම් සියල්ලම ආපසු ලබා දෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්