ආණ්ඩුවට චම්පිකගෙන් අනතුරු ඇගවීමක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

  • 2016 සැප්තැම්බර් 23

පුද්ගලික ඝාතන සිදු කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට අණ දුන් පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර අණ ක්‍රියාත්මක කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිර කර තැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක පවසයි.

බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් වෙමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ කැපවීම් අතුගා දමා පුද්ගලික ඝාතන සිදුවීම් ඉස්මතු කිරීම වැරදි ක්‍රියාවක් බවයි.

"වැදගත්, සෙබළු හිර කර ගන්න එක නෙවෙයි කවුද මේකට අණ දුන්නේ, ඒ අණ දීපු අය සුව පහසුවේ ගෙවල් වල ඉන්දැද්දී මේ අණ ක්‍රියාත්මක කරපු දුප්පත් සෙබළු හිර කිරිම යුක්ති ධර්මයට එකඟ නැහැ." ආණ්ඩුවේ ඇතැම් පිරිස් "දේශපාලන ඩීල්" යටතේ එලෙස අණ දුන් නිලධාරීන් අරකෂා කරන බවද පාටලී චම්පික රණවක ඇමතිවරයා මෙහිදී චෝදනා කළේය.

"මම අනතුරු අඟවනවා බොහොම පැහැදිලිව මේ පිරිස් රකින අයට බලගතු දේශපාලන වන්දියක් ගෙවන්න සිදු වෙනවා කියලා" එලෙස චෝදනා කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටද නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහට දැයි බිබිසිය විමසූ විට ඇමතිවරයා පැවසුවේ තමන් ඒ කවුරුන්දැයි නම් කිරීමට සූදානම් නැති බවයි.

අගමැතිවරයාට සහ ජනාධිපතිවරයා යන දෙපළට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටින බව පැවසූ අමාත්‍ය පාටලී චම්පික වැඩි දුරටත් කියා සිටියේ මෙරට සබෑ සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන්නේ ජාතික හෙළ උරුමය බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සුළු ජාතික ඡන්ද පදනම නැති වීමට තමන් පසුගිය ආණ්ඩුව සමයේ කළ කුමන්ත්‍රණයක් හේතුවූ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු පැවසුවේ රට තුළ ප්‍රශ්න ඇති කළ සංවිධාන ජාතික හෙළ උරුමය බිඳ වැට්ටවීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් එම චෝදනා නිර්මාණය කළ බවයි.