බලහත්කාර අතුරුදහන් කරවීම 'ලෝකයේ දරුණුම අපරාධය'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බලහත්කාර අතුරුදහන් කරවීම 'ලෝකයේ දරුණුම අපරාධය'

  • 2016 සැප්තැම්බර් 25

පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම ලොව අමානුෂිකම සහ බරපතලම අපරාධය බව මානව හිමිකම් ක්‍රියාධාරිනියක් පවසන්නීය.

මනුෂ්‍ය ඝාතනය හෝ වෙනත් බරපතල අපරාධවලදී මෙන් නොව කිසිවකු අතුරුදහන් කරවීමේදී ඔහු/ හෝ ඇය වෙනුවෙන් අවසන් ගරු බුහුමන් දැක්වීමේ අයිතිය පවා ඥාතීන්ගෙන් උදුරා ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නීතිවේදිනී මනෝරි මුත්තෙටුවේගම බීබීසී සංදේශයට කියා සිටියේ.

එබැවින් එය හුදෙක් එක් ජනවර්ගයක ගැටලුවක් ලෙසින් සලකා බැහැර නොකළ යුතු බවත් සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනිය සඳහන් කළාය.

බලහත්කාර අතුරුදහන් කරවීම තරම් බරපතල අපරාධයක් මිහිපිට නැතැයි කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේදී තවදුරටත් සනාථ වූ බවත් නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.

"ඒක මුළු රටටම වෙච්ච විපතක්. හැරෙන්න තැනක් නැතිව අපේ සමාජයේ කීදෙනෙක් ඉන්නවද කියල මේකෙන් අපිට පෙනුණා," ඇය සඳහන් කළාය.

ගතව ගිය සති කිහිපය ඇතුලත කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ කමිටුවලදී ඉතා අනුවේදනීය තොරතුරු හෙළි වූ බවයි ඇය පවසන්නේ.

'65,000 ක් අතුරුදහන්'

අසූව දශකයේ අග භාගයේදී සැමියා අතුරුදහන් වූ කාන්තාවකගේ දෙවැනි සැමියාත් ඉන් වසර කිහිපයකට පසුව අතුරුදහන්වීම, මහජන අදහස් විමසීම්වලදී හෙළිවුණ එවැනි එක් ශෝචනීය කතාවක්.

සිය සැමියන්, පුතුන් ඇතුළු ඥාතීන් සොයා යාමේදී මුහුණදීමට සිදු වූ නින්දා, අපහාස ඇතුළු වේදනාව බොහෝ කාන්තාවෝ කාරයා සාධක බලකාය ඉදිරියේ හෙළි කළහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගියදා සඳහන් කළ පරිදි ගතව ගිය දශක කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවේ 65,000 ක පිරිසක් අතුරුදහන්ව සිටිති.

එල්ටීටීඊයට එරෙහි යුද ගැටුම් සමයේ සහ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පත් කරන ලද කොමිෂන් වාර්තා මගින් ඒ සංඛ්‍යාව අනාවරණය වන බවයි ආණ්ඩුවේ සංහිඳියාව සම්බන්ධ කාර්යාලයේ සභාපතිනියද වන හිටපු ජනාධිපතිනිය සඳහන් කරන්නේ.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින්නේ 15,000 ක පිරිසක් අතුදහන්වීම සම්බන්ධ තොරතුරු පමණක් බව ක්‍රියාධරයෝ පවසති.

එම සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ අතුරුදහන්වීම් වැඩිම රටවල් අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව. එහි පළමු ස්ථානය හිමිවන්නේ ඉරාකයට.

එහෙත් නිසි සංඛ්‍යාලේඛන හෙලිවුවහොත් ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිවනු ඇති බවත් ක්‍රියාධරයෝ පවසති.

ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු සංහිඳියා ක්‍රියාමාර්ගය පිළිබඳව රට පුරාම ජනතාවගේ අදහස් විමසා සකස් කරන පූර්ණ වාර්තාව ලබන මාසයේ මැද භාගයේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කරන බවත් සංහිඳියාව සම්බන්ධ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.