තිස්ස අත්තනායකට නොතීසි

  • 2016 සැප්තැම්බර් 26
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක Image copyright Getty Images

ව්‍යාජ ලේඛනයක් සකසා ජාතීන් අතර සමගිය කඩාකප්පල් කිරීමට තැත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට අධිකරණයේ පෙනී සිටින මෙන් කොළඹ මහාධිකරණය නියෝග කරයි.

ඉහත කී චෝදනාව යටතේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබ තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන විසින් අදාළ නොතිසිය නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර රටට හානිකර ගිවිසුමක් ඇති කර ගෙන තිබෙන බව සඳහන් ව්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක විසින් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

ඒ හරහා තිස්ස අත්තනායක හිටපු ඇමතිවරයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත උල්ලංඝනය කරමින් වරදක් සිදු කර ඇති බව දක්වමින් නීතිපතිවරයා විසින් ඉහත කී අධිචෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකට ලබන මස 19 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණය නොතිසි නිකුත් කළේය.

බීබීසී යෙන්