අරමුණින් බැහැරවීමෙන් රාජ්‍යයට අභියෝගයක් වන එන්ජීඕ

  • 2016 සැප්තැම්බර් 28
Image caption 'තොරතුරු දැන ගැනීමේ අයිතිය රටේ සියලු අංශවල විවෘත විය යුතුයි'

බහුතරයක් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වූ කාරණයෙන් බැහැරව කටයුතු කිරීම ලෝකයේ බොහෝ රාජ්‍යයන් හි පැවැත්මට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය නිමිත්තෙන් අද (28) පෙරවරුවේ කොළඹදී ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ද තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ.

'අපේ රටෙත් රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීමේ දී අපි කටයුතු කරන්නේ මේ විෂය ක්ෂේත්‍රය කියලයි ලියාපදිංචි වන්නේ, නමුත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන යන්නේ ඒ ලියාපදිංචිය ලබාගෙන ඇති කාරණය නෙවෙයි වෙනත් කාරණා" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

මුදල් භාවිතය

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව අයිතිවාසිකම් යන සියල්ල පෝෂණය කරන සහ සුරක්ෂිත කරන රටක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය රටේ සියලු අංශවල විවෘත විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රජයේ වැය කටයුතු සඳහා පොදු ජනතාවගේ මුදල් භාවිතයේදී හා කළමනාකරණයේ දී සිදුවන අවභාවිතයන් සහ වැරදි මුල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ පොදු ජනතාවට සිදුවන අසාධාරණය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමත් සමග ඉවත්ව යන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නිදහස් මාධ්‍ය පිළිබඳ නීතිය, ව්‍යවස්ථාව හා අයිතිය කොතෙක් තහවුරු කළ ද අද බහුතරයක් මාධ්‍ය ආයතනවල හැසීරීම සිදුවන්නේ එහි හිමිකාරිත්වයේ හා කළමනාකාරිත්වයේ සිතුම් පැතුම් අනුව බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර