ගෝඨාභය ඇතුළු සැකකරුවන්ට විදෙස් ගමන් තහනම්

  • 2016 සැප්තැම්බර් 30
Image caption ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අට දෙනාට විදෙස් ගමන් තහනම්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට විත්තියේ නීතිවේදීන් මතු කළ තර්කය ප්‍රතික්ෂේප කළ අධිකරණය, විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළේය.

ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු විත්තිකරුවන් පිරිස ඇප මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔවුන්ට විදේශගත වීමට අවශ්‍යනම් අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවත් නියෝග කළේය.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දිම තුලින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවෝ චෝදනා ලබා සිටිති.

අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කැඳ වූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු කරුණු දක්වමින් අල්ලස් කොමිසම අදාළ නඩුව ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි බවට තර්ක කළහ.

Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් අධිකරණයට පැමිණ සිටියේය

එබැවින් සියලු සැකකරුවන් මුදාහරින මෙන් විත්තියේ ඔවුහු ඉල්ලා සිටියහ.

එහෙත් අධිකරණයේ සාමාන්‍ය සම්ප්‍රදායට එරෙහිව කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, විරෝධතා තිබේනම් ඉදිරියේදී විභාගයට ගන්නා බවත් පැවසීය.

ඇප මත මුදාහැරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උතුරේ මහ ඇමතිවරයාගේ 'විවිධ ප්‍රකාශවලට' එරෙහිව පියවර නොගන්නා බවට ආණ්ඩුවට චෝදනා කලේය.

"පසුගිය කාලයේ නම් ඔහු එවැනි ප්‍රකාශ කළේ නැහැ. වර්තමාන රජය ජාතිවාදය අවුස්සන බවට විවිධ පුද්ගලයින්ට චෝදනා එල්ල කරන අතරේ මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ," ඔහු පැවසීය.

නඩු විභාගය දැකබලා ගැනීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් අධිකරණයට පැමිණ සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්