'යුද මාධ්‍ය සංස්කෘතිය අවසන් විය යුතුයි'

  • 2016 ඔක්තෝබර් 9
ආචාර්ය රංග කලංසූරිය
Image caption ආචාර්ය රංග කලංසූරිය

විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධ ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීම මේ සතියේ ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා වන සිය දෙපාර්තමේන්තුවේ යෝජනාවලිය ජනතාව වෙත ඉදිරිපත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ.

ඔහු සඳහන් කළේ තරුණයකු සිය දිවි නසා ගන්නා දර්ශන සහිත පුවතක් විකාශය කිරීම තුළින් ඇතැම් පෞද්ගලික රූපවාහිනී ආයතන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ කළ විමසීමකදී.

මාධ්‍ය ආයතන සිය සීමාවෙන් ඔබ්බට ගොස් ආචාරධර්ම උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන වාර්තා කිරීම් නියාමනය කරනු වස් විද්‍යුත් මාධ්‍ය නියාමන ස්වාධීන කොමිසමක් අවශ්‍ය බවයි ආචාර්ය රංග කලංසූරිය පෙන්වා දෙන්නේ.

ජනමාධ්‍ය සතු ආචාරධර්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම මාධ්‍ය අමාත්‍යංශයේ කාර්යභාරය නොවුනත් විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධ ස්වාධීන කොමිසමක් නොමැති තත්වයක් යටතේ එවැනි ආචාරධර්ම කඩ කිරීම් පිළිබඳ පෙන්වා දීමේ වගකීමක් තමන්ට තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් යුද සමයේ පුවත් වාර්තා කළ අන්දමටම තවමත් වාර්තාකරණයේ යෙදෙන බවත් ඔහු පෙන්වා දෙයි.

'ඒ සංස්කෘතිය කොතනින් හෝ අවසන් විය යුතුයි. ඒ සංස්කෘතිය දිගටම පැවතීම වැරදියි. මේ වැරදි නිවැරදි කිරීමයි අපේ වගකීම වෙන්නේ.' රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

පෞද්ගලික මාධ්‍ය ආයතන පමණක් නොව මීට ඉහත අවස්ථාවල රාජ්‍ය මාධ්‍යත් මෙලෙස ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය පිළිගත්තේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්