නව ව්‍යවස්ථාව;අනාගමික රාජ්‍යය සංවාදය තුළින්

  • 2016 ඔක්තෝබර් 10

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 'අනාගමික' එසේත් නැත්නම් 'ලෝකායත' එකක් විය යුතු යයි කියා සිටින්නේ දෙමළ සමාජය පමණක් නොව, සමාජය ප්‍රජාතාන්ත්‍රීයකරණය සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින කිතුනු සහ මුස්ලිම් සමාජ කණ්ඩායම් මෙන්ම සිංහල සිවිල් සමාජ ක්‍රියාධරයන් විසින් ද එම ඉල්ලීම කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

බෞද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රමුඛත්වය දිය යුතු බව ඇතැම් කිතුනු සංවිධාන පවා ප්‍රකාශ කොට ඇති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සිහිපත් කරයි.

ඔහු එම අදහස් ඉදිරිපත් කළේ අලුතින් සම්පාදනය කිරීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනාගමික වූවක් නොවන බවට වාර්තා පළ වෙත්ම ඊට එරෙහිව සමාජ මාධ්‍ය ජාලයේ පළ වෙමින් පවතින විරෝධාත්මක අදහස් ඒ පිළිබඳව බීබීසී සංදේශය වෙනුවෙන් තිසර රතුවිතාන විසින් සිදු කරන ලද විමසීමකදී.

කෙසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී පවතින ප්‍රායෝගික තත්වයන් තේරුම් ගත යුතු අතරම ආගමික සංස්ථාවන්ට සමාජ ප්‍රතිසංස්කරණ සඳහා බාධා කළ හැකි දොරටු ආවරණය කළ යුතු බවයි සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ.

'ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරන්නන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්ආගමික එකක් විය යුතු බව විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩ නැගීමේ දී ජාතිවාදය පරාජය කිරීම ප්‍රමුඛස්ථානය ගත යුතුව තිබෙනවා. එහිදී අන්තවාදී කොටස් රාජ්‍යතන්ත්‍රයට කරන බලපෑම අවම කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය කරනවා' වාග්විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කියා සිටියි.

ආගම සහ දේශපාලනය

රාජ්‍යය තුළ බුදු දහමට ප්‍රමුඛස්ථානය දීමේ ඓතිහාසික වටපිටාව පිළිබඳව විග්‍රහයක නිරත වෙමින් වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් කියා සිටියේ එම ප්‍රමුඛස්ථානය හිමි වුණේ හින්දු මුස්ලිම් හෝ කිතුනු කොටස්වලින් එල්ල වූ තර්ජනයක් නිසා නොවන බවයි.

එදා ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ඓතිහාසික සන්දර්භය තුළ ඉංග්‍රීසීන් එවැනි පියවරක් ගෙන ඇතත් අද පවතින්නේ ඊට වෙනස් සමාජ සන්දර්භයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් මෙවැනි සංවේදී කරුණු ඉතාම සාමකාමීව සාකච්ඡා මේසය තුල සංවාදයට ගත යුතු ඒවා වන බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසන්නේ.

'අප ඉල්ලා සිටින දෙය සාධාරණ බව ඒත්තු ගැන්විය යුතු අතරම එම ඉල්ලීම කළ යුතු වෙන්නේ පවතින යතාර්ථය තේරුම් ගෙනයි. අපි අනිත් පාර්ශ්වය තුළ විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි. විශේෂයෙන් ම බෞද්ධාගම දේශපාලනීකරණය වීම තුළින් මතු වී ඇති ප්‍රශ්න පිලිබඳ සංවාදය ආරම්භ විය යුත්තේ සිංහල බෞද්ධ සමාජය තුළින්' ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පවසයි.

එම සංවාදය බාහිරින් ගෙන ඒම සාර්ථක නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනාගමික එකක් වීම සිය පෞද්ගලික අභිමතය වෙන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර