දිල්රුක්ෂි ඉල්ලා අස්වීම: 'ජනපතිට හොඳ පිළිතුරක්'

  • 2016 ඔක්තෝබර් 17

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ලබා දුන් 'හොඳ පිළිතුරක්' බව යහපාලනය බලයට ගෙන ඒමට උර දුන් සමාජ ක්‍රියාධරයෙක් ප්‍රකාශ කරයි.

එමෙන්ම එය වසර දෙකක යහපාලන ආණ්ඩුවේ බරපතලම කළු ලපයක් බවත් පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ බීබීසී සංදේශයට පැවසීය.

පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදුන් බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බීබීසී සංදේශය කළ විමසීමකදී සනාථ කළාය. ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම භාරගත්තේද යන්න තවමත් අනාවරණය වී නැත.

අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ක්‍රියාකලාපය පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම එම 'සාහසික ප්‍රකාශයට' දුන් කදිම පිළිතුරක් බව පවසන ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් 'කොන්ද නොනමා වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට' නිදහසේ වැඩකිරීමේ පරිසරය අසුරා දමා ඇති බවත් සඳහන් කළේය.

වරදක් කර නැත්නම් ඉල්ලා අස්වන්නේ මන්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ කොතරම් බරපතළ වරදක් කළත් ඉල්ලා අස්වීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ දක්නට නොලැබෙන බවයි.

කෙසේ නමුත් මේ ගැටුම හේතුවෙන් යහපාලනය කිසිසේත්ම බිඳ නොවැටෙන බවත් ගාමිණී වියන්ගොඩ අවධාරණය කළේය.

"යහපාලනය මේකෙන් බිඳවැටෙන්නේ නෑ. අපි මේ වගේ සිද්ධි උඩ යහපාලනයට බිඳවැටීමට ඉඩ තැබිය යුතුත් නෑ."