හිටපු හමුදා නිලධාරියා වන්දි ගෙවයි

  • 2016 ඔක්තෝබර් 18
Image copyright AFP
Image caption දමිල සැකකරුවෙකුට අපරික්ෂාකාරී ලෙස වෙඩි තබා මරණය සිදුකිරීමේ චෝදනාවට හිටපු හමුදා නිලධාරියා වැරදිකරු බව තීන්දු කෙරිණ

දමිල සැකකරුවෙකුට අපරික්ෂාකාරී ලෙස වෙඩි තබා මරණය සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු කිරීමෙන් පසුව අධිකරණය නියම කළ රුපියල් ලක්ෂ 20ක වන්දිය විත්තිකාර හිටපු යුද හමුදා මේජර්වරයා විසින් ගෙවන ලදි.

1998 වසරේ පේදුරුතුඩුව හමුදා කදවුරේ රඳවා සිටි රොබට් වෙලින්ටන් නමැති එල්ටීටීඊ සැකකරුවෙකු පලායාමට තැත් කළ අවස්ථාවේදී සිදුකළ අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් ඔහුගේ මරණය සිදුකළ බවට චෝදනා කරමින් විමල් වික්‍රමගේ නමැති හිටපු යුධ යුද හමුදා මේජර්වරයාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණ.

දීර්ඝ විභාගයකින් පසුව පසුගිය අගෝස්තු මස 31 වෙනිදා එහි තීන්දුව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණය විත්තිකරු වරදකරු කරමින් ඔහුට වසර දහයකට අත්හිටවූ දෙවසරක සිර දඬුවම් නියම කළේය.

ඊට අමතරව මියගිය තැනැත්තාගේ ළඟම ඥාතීන්ට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ගෙවන මෙන් ද අධිකරණය විත්තිකරුට නියම කළේය.

ඉන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පැවසුවේ, දේශප්‍රේමී ජනතාව ලබාදුන් පරිත්‍යාග උපයෝගී කරගෙන මෙම වන්දි මුදල ගෙවීමට පියවර ගත් බවය.

"මේ නඩුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අප තුළ අදහසක් තිබුනා. ඒත් අපේ නීතිවේදීන් ඊට විරුද්ධ වුනා. ඔවුන් කියා සිටියා අභියාචනා කළොත් දඬුවම තවත් වැඩිවිය හැකි බව. මේ නිසා අභියාචනා ඉදිරිපත් නොකර වන්දි ගෙවීමට අපි තීන්දු කළා," යැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ කීහ.