කොළඹ මහ රෝහලේ 'දුර්ගන්ධයක්'

  • 2016 ඔක්තෝබර් 18
Image copyright Getty Images

කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයේ ධාරිතාවය මදිවීම ඇතුළු ගැටළු හේතුවෙන් මහ රෝහලේ බරපතල දුර්ගන්ධයක් පැතිර ගිය බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

විශේෂයෙන්ම පිටින් ගෙනෙන හඳුනා නොගත් මළ සිරුරු ඉක්මනින් ඉවත් නොකිරීම එයට එක් හේතුවක් බවත් රෝහලේ අධ්‍යක්ෂවරයා බීබීසී සංදේශයට පැවසීය,

"එය වලක්වා ගැනීම සඳහා අපිට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිද්ද වුනා. දැන් වෙනකොට ඒ තත්වය පාලනය වෙලා තියෙනවා," ඔහු පැවසීය.

පොලිසිය විසින් රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන එනු ලබන හඳුනා නොගත් මළ සිරුරු භාර නොගැනීමේ තීරණය පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ වෛද්‍ය ජාසිංහ කියා සිටියේ, එය තාවකාලික තීරණයක් පමණක් බවයි.

නඩත්තු කටයුත්තක් සඳහා ශීතකරණයේ මෘත ශරීර ඉවත්කිරීමට අවශ්‍ය වූ බැවින් එවැනි තාවකාලික තීන්දුවක් ගැනීමට තමන්ට සිදු වූ බවත් ඔහු පැවසීය.

"මෙහි ගැටළුව වෙන්නේ පොලිසියෙන් ගෙනෙන මළ සිරුරු ඇතැම්විට මාස අටක්, අවුරුද්දක් වගේ කාලයක් මේ ශීතකරණවල පවත්වාගෙන යාම," ඔහු පැවසීය.

එම මෘත ශරීර ඉවත්කරගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ මෘත ශරීර රෝහලේ ශීතකරණවල ගොඩ ගැසී තිබුණු බවත් ඔහු සඳහන් කළේය.

පොලිසිය විසින් එසේ ගෙන එනු ලබන මෘත ශරීර මහ රෝහල තාවකාලිකව භාර නොගත්තත්, එම මෘත ශරීර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබෙන කොළඹ පිහිටි විශාලම මෘත ශරීරාගාරයේ මෙන්ම කොළඹ අනෙක් ප්‍රධාන රෝහල්වල තැන්පත් කරන බව දැනගන්නට ලැබුන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් පැවසීය.