තිස්ස අත්තනායක: 'ඇප දීමට තරම් සුවිශේෂී කරුණක් නැහැ'

  • 2016 ඔක්තෝබර් 19
Image caption එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කළ බවට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි

ජාතින් අතර සුහදතාව කඩවන ආකාරයේ අසත්‍ය ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් මස 5 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමල ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට අසත්‍ය ලේඛනයක් මහජනයා අතර ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් තිස්ස අත්තනායක ජාතින් අතර සුහදතාව බිඳ දැමීමට උත්සාහ කළ බවත් ඒ තුළින් ඔහු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පවසමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේ , මෙම පනත යටතේ විත්තිකරුට ඇප නියම කළ හැක්කේ සුවිශේෂ කරුණු තිබේනම් පමණක් බවය.

සුවිශේෂ කරුණු

එහිදී විත්තියේ නීතිවේදීන් ඇමතු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන, ඇප දීම සඳහා සුවිශේෂ කරුණු තිබේනම් ඉදිරිපත් කරන මෙන් දැනුම් දුන්නාය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද එය මෙතෙක් රජය මගින් බලාත්මක කර නොමැති බව විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසීය.

මේ නිසා විත්තිකරුට එරෙහිව එම පනත යටතේ නඩු පැවරිය නොහැකි බව කියා සිටි ඔහු, විත්තිකරු සාක්කිකරුවන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවද පෙන්වා දුණි.

එබැවින්, මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සළකා විත්තිකරුට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඒවා සුවිශේෂ කරුණු සේ සැළකිය නොහැකි බව ප්‍රකාශකරමින් එය ප්‍රතික්ෂේප කළ අධිකරණය, දෙසැම්බර් 5 වෙනිදා නඩුව යළි කැඳවීමටත්, එතෙක් තිස්ස අත්තනායක රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්