මානව හිමිකම් කවුන්සිලයට මාර්තුවේදී වාර්තාවක්

  • 2016 ඔක්තෝබර් 22
සුළු ජාතීන් මුහුණ දෙන ගැටලු පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාකාරිනිය රීටා ඉසාක් දියායේ Image copyright Getty/ ISHARA S.KODIKARA
Image caption සුළු ජාතීන් මුහුණ දෙන ගැටලු පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාකාරිනිය රීටා ඉසාක් දියායේ

ශ්‍රී ලංකාව සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ලබාදෙන සහය යළි සළකා බැලීමේ වැදගත්කම සුළු ජාතීන් මුහුණ දෙන ගැටලු පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාකාරිනිය වන රීටා ඉසාක් දියායේ විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව විශේෂිත සහ කඩිනමින් කළ යුතු සැලසුම් පිළිබඳව ද ඇයගේ විශේෂ අවධානය යොමුවී ඇත.

"දිගුකාලීනව පැවති සිවිල් යුද්ධයකින් පසු සාමකාමී සහජීවනයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රමානුකුලව සැලසුම් කළ, සැමදෙනා අතර සහයෝගීත්වයෙන් සොයාගත් සත්‍යය මත පදනම්ව, සංහිඳියාව ඇතිකිරීම සහ වගවීමට අදාළ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයායුතුයි. ඒක එක්රැයින් කළ හැකි දෙයක් නොවෙයි" යනුවෙන් රීටා ඉෂාක් විසින් තම ශ්‍රී ලංකා සංචාරය අවසානයේ නිකුත්කරන ලද වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකීය සුලු ජාතික ප්‍රජාවන් කෙරෙහි වූ ගෞරවය, ඔවුන්ගේ අනන්‍යතාව, සමාන ලෙස පිළිගැනීම ආරක්ෂාවන පරිදි කටයුතු කිරීම සහ ඔවුන්ගේ ජීවිතයේ අනෙකුත් සියලුම කටයුතු සඳහා සහයවීම ප්‍රකාශ කෙරෙන ආකාරයට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දිරිගන්වමින් ඇය අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඇය සංචාරය කළ කාලය තුළ මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම්ද වතුකරයේ ජනතාව ඇතුළුව ද්‍රවිඩ ජනතාව, මැලේ ජාතික ප්‍රජාව, ආදිවාසීන්, තෙළිඟු, ශ්‍රී ලාංකික අප්‍රිකානු සහ බර්ගර් ජාතිකයන් හමුවී අදහස් ලබා ගත්තාය.

'සුළු ජාතික අයිතීන්'

රජය විසින් අත්පත් කරගන්නා ලද ඉඩම් ආපසු ලබා දීම, අතුරුදන් පුද්ගලයන් පිළිබඳ ගැටලුව, උතුරු නැගෙනහිර හමුදාව රැඳී සිටීම සහ ආරක්ෂක හේතු මත රඳවාගනු ලැබූවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව ඇය ඔවුන් හා සාකච්ඡා කර තිබිණ.

මෙයට අමතරව දුගීභාවය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, කුලය මත පදනම් වූ වෙනස්කම්කිරීම්, මහජන සේවාවන්වල ප්‍රයෝජන ලැබීමේ දී අඩු නියෝජනයක් පැවතීම ආදී සුලු ජන කොටස් මුහුණදෙන අභියෝග පිළිබඳව ද රීටා ඉෂාක් ගේ වාර්තාවෙන් අවධාරණය කර ඇත.

ඒ අතරම සුලු ජන ප්‍රජාවන්ගේ අයිතීන් සුරැකීම පිණිස ජාතික ආණ්ඩුව මගින් ලබා දී ඇති නව නීතිමය ප්‍රතිපාදන ප්‍රශංසාවට ලක්කරන ඇය තීරණ ගැනීමේ කාර්යයේ දී සුලු ජනතා නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ද මතුකොට දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විෂයමාලාව තුළට මානව විවිධත්වය පිළිබඳ තොරතුරු ඇතුළත්කිරීම තුළින් සුලු ජාතික ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යා හැකි බව ඇය විශ්වාස කරන්නීය.

සුලු ජන අයිතීන් පිළිබඳ ස්වාධීන ආයතනයක් පිහිටුවා ඒ හරහා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශේෂඥ සහය ලබාදීම තුළින් සුලු ප්‍රජාවන් හා රාජ්‍යය එකිනෙක යා කිරීම පිළිබඳව ද රීටා ඉෂාක් ගේ වාර්තාව මගින් අවධානයට යොමුකොට තිබේ.

මෙම වාර්තාව 2017 වසරේ මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්