ඇමති බදියුදීන්ට මඩකලපු දිස්ත්‍රික් නායකයන්ගේ විරෝධය

  • 2016 ඔක්තෝබර් 22
අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්
Image caption කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමති රිෂාඩ් බදියුදීන්

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ කර ගැනීමේ උත්සාහයට ප්‍රදේශය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ විරෝධය පළ කරති.

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමති රිෂාඩ් බදියුදීන් සහභාගී කර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දිසා ලේකම්වරියට දන්වා ඇති බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරු පවසති.

තමා ඊට විරුද්ධ වන්නේ කිසිදු ජාති හෝ ආගමික පදනමක පිහිටා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් කියා සිටියේය.

මඩකලපු දිස්ත්‍රික් කමිටුව තුළ රාජ්‍ය ඇමතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරයකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනකු සිටියදී වෙනත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අමාත්‍යවරයකු ඊට සම්බන්ධ කරන්නේ එම පිරිස පිළිබඳ විශ්වාසය තැබීමට නොහැකි බැවින් දැයි ඔහු ප්‍රශ්න කරයි.

සිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සම්බන්ධයෙන් වෙනත් දිස්ත්‍රික්කයක නියෝජිතයෙක් උනන්දුවක් දැක්වීම පිළිබඳ ජනතාව සැක පහළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් සඳහන් කළේය.

'පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පළාතේ ගැටළු කීපයක් සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ ඇමතිවරයකු මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගී කර වීමේ අරමුණ පිළිබඳ බොහෝ දෙනකු සැක පහළ කරනවා,' පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්