පොලිසිය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අණ නොතකා පලා යද්දී වෙඩි තැබිය හැකිද?

  • 2016 ඔක්තෝබර් 23

අණ නොතකා පලා යන නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පොලිසියට කිසිම බලයක් නොමැති බව ශ්‍රී ලංකාවේ නීති විශාරදයෙක් පවසයි.

අණ නොතකා පලා යන්නේ නම් අවම බලයක් යොදා අත්අඩංගුවට ගන්නා ආකාරය හෝ යටත් කර ගන්නා ආකාරය 1979 අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 23 වගන්තියේ 2 සහ 3 යන උප වගන්තිවල පැහැදිලි ලෙස දක්වා ඇති බව නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි.

ඉන් ඔබ්බට ගොස් පොලිසිය සිය බලය යොදන්නේ නම් එය බලය අතික්‍රමණය කිරීමක් ලෙස හැඳින්විය හැකි බව ඔහු පැවසීය.

'මිනී මරලා නැහැ'

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මේ බව කියා සිටියේ, අණ නොතකා යතුරුපැදියක් ධාවනය කිරීම යාපනයේ සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතු වී ඇති බවට පළ වන වාර්තා පිළිබඳ බීබීසීය වෙත අදහස් දක්වමිනි.

"කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය සාමාන්‍ය‍ය ජනතාව, එවැනි අය ළඟ අවි ආයුධ නැහැ. පොලිසිය ළඟ අවි ආයුධ තියෙනවා. මෝටර් රථ, දුරකථන තිබෙනවා. ඉතින් කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය ලුහුබැඳ යන්න පුළුවන්."

"යම් කිසි අයකු අණ නොතකා රිය ධාවනය කරන්නේ නම් එය මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මාර්ග නීති කඩ කිරීමක්. ඒ අය මිනී මරලා නැහැ."

එවැනි පුද්ගලයකු ලුහුබැඳ ගොස් මෙල්ල කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතු බවත් එසේ නොහැකි නම් පමණක් අවම බලය යෙදිය යුතු බවත් ආචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.

පස්යාල සහ රොෂේන් චාමිකර

එහිදී යම් කිසි අයකු වෙඩි තබන්නේ නම් සිය ආත්මාරක්ෂාවේ අයිතිය භාවිතා කොට පොලිසියට එවැනි පුද්ගලයකු යටත් කළ හැකි නමුත් ඔහුගේ මරණය සිදු කිරීමට කිසිදු බලයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

මෙවැනි තත්වයන් උතුරෙන් පමණක් නොව පස්යාල සිද්ධිය සහ රොෂේන් චාමිකර සිද්ධිය ඇතුළු සිදුවීම් ගණනාවක් හරහා දකුණේ ද දැක ගත හැකි බවත් නීතීඥවරයා සඳහන් කළේය.

මෙවැනි තත්වයන් මග හරවා ගැනීම සඳහා පොලිස් කොමිසම ක්‍රියාශීලී මැදිහත් වීමක් සිදු කළ යුතු බවත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් පැවසීය.

සම්පූර්ණ සාකච්ඡාවේ හඬ පටයට ඉහතින් සවන් දිය හැකිය.