තැරව්කරුවන්ගෙන් පිඩා විඳින කතරගම බැතිමතුන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තැරව්කරුවන්ගෙන් පිඩා විඳින කතරගම බැතිමතුන්

  • 2016 ඔක්තෝබර් 28

කතරගමට පැමිණෙන වන්දනාකරුවන් කිසියම් සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අසීරුතාවලට ලක්වෙමින් සිටී.

විශේෂයෙන් ම පූජා භාණ්ඩ අලෙවිසල් පිහිටි ප්‍රදේශයේ මෙම තත්ත්වය පවතින බව එම අලෙවිසල් හිමියෝ පවසති.

ඔවුන් පෙන්වාදෙන පරිදි, වන්දනාකරුවන් වෙනුවෙන් පූජා නගරය තුළ වෙන්ව ඇති රථගාල 6 අවට පවතින මෙම තත්ත්වයට හේතුව 300ට අධික වූ පූජා භාණ්ඩ අලෙවිසල් අතරින් මහා පරිමාණයෙන් එම ව්‍යාපාරයේ නියුතු කිහිපදෙනෙකු තැරැව්කරුවන් යෙදවීමය.

එසේ යොදවනු ලබන තැරැව්කරුවන් විසින් බලහත්කාරයෙන් මෙන් වන්දනාකරුවන් අදාළ වෙළෙඳසල් වෙත යොමුකරනු ලැබීම හරහා වන්දනාකරුවන් අපහසුතාවට ලක්කෙරෙන බැවින් එය තම ව්‍යාපාර කෙරෙහි ද බලපාන බව පුජා භාණ්ඩ අලෙවිසල් හිමියන්ගෙන් බහුතරය පවසයි.

"අපේ කඩ තියෙන ප්‍රදේශයේ පමණක් විසිපහක් තිහක් විතර අනවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒ අය ගංජා, කුඩු බොන්න සල්ලි හම්බකරගන්නව. ඒ අය කරන්නේ වාහනයක් එනකොට පාර මැදට පැනලා වාහනේ නතර කරලා ඒ අයගේ කඩේට අරගෙන යන එකයි. මේ අය තැරැව්කව්රුවන්. වන්දනාවේ එන අය හිතන්නේ පුජවට්ටි කඩහිමියන් මේ වැඩේ කරනවා කියලා. අපි ඒ ගැන ලැජ්ජාවෙනවා. නමුත් මේක කරන්නේ මහා පරිමාණයෙන් කඩකරන කීපදෙනෙක්. සියයට තිහක කොමිස් මුදලක් ගෙවලා මේ අයව යොදවන්නේ වන්දනාකරුවන්හට හිරිහැරයක්වන ආකාරයටයි." යනුවෙන් පූජා භාණ්ඩ අලෙවිසල්හිමියකුවන ආර්. එම්. ඒ. සරත් පැවසීය.

'වන්දනාකරුවන්ට හිරිහැර වැඩියි'

තවත් පූජා භාණ්ඩ අලෙවිසල් හිමියකුවන ජී. සුබසිංහ ප්‍රකාශ කළේ, "මේ නගරය තුළ අසාධාරණකම් සිද්ධවෙනවා. වන්දනාකරුවන්ට ගොඩක් හිරිහැර වැඩියි. කතරගම පොලිසිය මෙය නතර කරන්න ගොඩක් මහන්සිවෙනවා. අපි මුදලාලිලා හැටියට පොලිසියේ ස්ථානාධිපතිතුමා ගෙන යන ඒ කාර්යයට කැමතියි. මේ ජාවාරම් නවත්වා මේ නගරය පිරිසිදු නගරයක්කරනවාට අපි කැමතියි." යනුවෙනි.

"මහා පරිමාණයෙන් කඩකරන කිහිප තැනකම තැරැව්කරුවන් 10 ක් 15 ක් යොදාගෙන. රුපියල් 350ක පුජා වට්ටිය විකුණන්නේ රුපියල් 500 ට. රුපියල් 1000 ක පුජා වට්ටියකින් 300 ක් මේ අය‍ට දෙන්න ඕන. මේ අය කතරගම වන්දනාවේ පැමිණෙන අය‍ට මෙන්ම ගමේ අයටත් හිරිහැරයක්." යැයි ජි. ඒ. දීපා පැවසුවාය.

මේ අතර, මතභේදයට ලක්ව සිටින තැරැව්කරුවන් ලෙස හැඳින්වෙන පිරිසෙන් ඇතැමෙකු මෙසේ පැවසීය.

"අවුරුදු 27 ක් තිස්සෙම කළේ මේ විදිහට නඩ අල්ලන එක තමයි. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අය රකින්නේ මේ ආකාරයෙන් පුජා වට්ටි කඩවලට නඩ අල්ලා දීලයි. අපි කාටවත් හිරිහැරයක් කරන්නේ නෑ අපි කරන්නේ වාහනයකට අත වනලා ගෙන්නාගන්න එක විතරයි" යැයි එස්. ඒ. සනත් ප්‍රකාශ කළේය.

නඩ අල්ලා දීම

එම කාර්යයේ ම නියුතු සුමන පැවසුවේ, "අපි දෙමාපියන් රකින්නේ හැමදෙයක්ම කරන්නේ මේ කඩයක් ළඟටවෙලා කීයක් හරි හොයාගෙනයි. අපි කාටවත් හිරිහැරයක් කරන්නේ නෑ. අපිට කඩ නෑ. ඒ නිසා කඩේක මුදලාලි කෙනෙකුට සේවය කරලා කීයක් හරි හොයා ගන්නවා. පොලිසිය කරපු වැඩේ හොදයි. අපි පාරට ගිහින් කාටවත් කරදර කරන්නේ නෑ. අපි දැන් කඩේ ළඟ ඉඳලා අත වනලා කීයක් හරි හොයාගන්නවා." යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පූජා නගරයක්වන කතරගම ප්‍රදේශය තුළ හටගෙන ඇති මෙම තත්ත්වය හමුවේ වන්දනාකරුවන් අපහසතාවට පත්වන බැවින් එය පාලනයකිරීමට පියවරගත් බව කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේ පැවසූ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම්, "බැතිමතුන්ට හිරිහැරයක්වන ආකාරයට ක්‍රියාකරන්න එපා කියලා මේ තැරැව්කරුවන් හා කොමිස්කරුවන්ව මා දැනුවත් කළා. නමුත් එය නතර නොවන නිසා මට සිද්ධවුනා ඒ අය අත්අඩංගුවටගන්න. එසේ අත්අඩංගුවටගත් 9 දෙනකු අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු එයින් හතරදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා." යැයි පෙන්වා දුණි.

ගැටලු පැනනැගුණු ප්‍රදේශය තුළ පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් වන්දනාකරුවන් වෙත තැරැව්කරුවන්ගේ බලපෑම් එල්ලවිම අඩුවූ බව ද කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

හම්බන්තොට වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කතරගම කළ සංචාරයකින් පසු සංදේශය වෙනුවෙන් සකස් කළ වාර්තාවකි.