පාර්ලිමේන්තුව හමුවේ තැබූ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික දැක්ම

  • 2016 ඔක්තෝබර් 27
Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ මේවන විට ඇති ඒක පුද්ගල ආදායම දෙගුණ කරමින් 2025 වසරවන විට ඇමෙරිකානු ඩොලර් 8000 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ සඳහා විප්ලවීය චින්තනයක් මගින් අභීත ප්‍රතිපත්ති සහ පියවර ගතයුතු බව අගමැතිවරයා පෙන්වා දුන්නේ රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් අද (ඔක්. 27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට අපට සිදු වෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි. මේ 7% ආර්ථික වර්ධන වේගය අපේ රට අවසන් වරට ලබාගත්තේ යුද්ධය අවසන් වුණු විගස 2009 දී යි. අවාසනාවකට සාමයත් සමග ලැබිය යුතුව තිබුණු ආර්ථික ප්‍රතිලාභ ලබාගන්නට අපේ රටට නොහැකි වුණා" යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Image caption පසුගිය ජනවාරි මාසයේ දී පැවති කොළඹ ආර්ථික සමුළුවට සහභාගී වූ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා

අමෙරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහත වැටෙමින් තිබෙන අතර නිමි ඇඟළුම් අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 5 ක මට්ටමක හිරවී තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා, " ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා අප අයදුම් පතක් ඉදිරිපත් කළේ ඒ ඔස්සේ නැවතත් ඇඟළුම් කර්මාන්තයේ පිබිදීමක් ඇති කරලීම සඳහායි. ලබන අවුරුද්දු මෙහි වාසිය අපට හිමිවෙනවා" යැයි කීය.

ඇඟළුම් කර්මාන්තයේ පිබිදීමක්

"2003 දී අපේ රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ වූවා. ඒ වසරේ බංග්ලාදේශයේ රෙදිපිළි සහ ඇඟළුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.2 යි. 2015 වන විට අපි රෙදිපිළි සහ ඇඟළුම් අපනයන කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයද්දී බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 26.6 ක් උපයනවා" යැයි ද ඔහු පෙන්වා දුණි.

මැද පෙරදිග ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම ද පෙන්වා දුන් අගමැතිවරයා, " දැන් කලක් තිස්සේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි ආරාබිය වැනි රටවලට තමන්ගේ රට වැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදුව තියෙනවා. මෙය මැදපෙරදිග සේවය කරන ලාංකේය ශ්‍රමිකයන්ට අලූතෙන් එල්ලවන අභියෝගයක්" බව ප්‍රකාශ කළේය.

"ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්‍ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙඳාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇති අවහිරතා අප ඉවත් කරනවා" යැයි කී අගමැතිවරයා, සිංගප්පූරුවේ ආනයන හා අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්ඩ පාලන පනතට සම කළ හැකි නව පනතක් ආනයන හා අපනයන පාලන පනත වෙනුවට හඳුන්වාදෙන බව පැවසීය.

වන වගාවට මූලිකත්වය

හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ලබාගත් අති විශාල ණය ප්‍රමාණය ගෙවීම වෙනුවට ණය හිලව් කිරීම සඳහා හිමිකාරීත්වයේ කොටස් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව අගමැතිවරයා පැවසුවේ," චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දක්වනවා.ඒ නිසා හම්බන්තොට වරායේ සහ ගුවන් තොටුපලේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකියි" යැයිඅවධාරණය කරමිනි.

Image copyright Getty Images

සිය විශේෂ ප්‍රකාශය තුළදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් තිරසර සංවර්ධන ඉලක්කවලට අනුගතවෙමින් කර්මාන්ත, සේවා හා කෘෂි කර්මාන්තය දියුණු කරන අතර වන වගාව කෙරෙහි ද අවධානය යොමු කරන බව පෙන්වා දුන්නේය. එසේම කැළි කසළ බැහැර කිරීමේ දැවැන්ත අභියෝගයට ද තිරසර විසඳුම් දෙන බව අගමැතිවරයා පැවසීය.

" අප සියලු දෙනාට ම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්නය කියා මා ඔබට යෝජනා කරනවා. ජාතික ආණ්ඩු පදනම මත රට ඉදිරියට රැගෙන යාමේ අවකාශයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුත්තේ ඒ නිසයි" යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බීබීසී යෙන්