රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරියක් ඉදිරියට

  • 2016 ඔක්තෝබර් 27
Image copyright AFP

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජුරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීම සදහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

අධිකරණය මෙම අවසරය දෙනු ලැබුවේ නඩුවේ විත්තිකාර නාවික හමුදා සෙබළුන් කළ ඉල්ලීමක් පිළිගැනීමෙනි.

විත්තිකරුවන්ට අදාළ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත්කර ඇති බැවින් මෙම නඩුව ජුරි සභාවක් හමුවේ විභාගයට ගැනීමට නීති ප්‍රතිපාදන නැතැයි පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිවේදියා විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව ඕනෑම පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයක් ලබාදීමට අධිකරණය බැඳී සිටින බවය.

ඒ අනුව, අදාළ නඩුව විශේෂ ජුරි සභාවක් හමුවේ විභාගයට ගන්නැයි නියෝග කළ අධිකරණය පෙන්වා දුන්නේ අදාළ ජුරි සභාවේ සාමාජිකයින් අවම වශයෙන් උපාධිධාරීන් විය යුතු බවය.

වැඩිදුර නඩුව විමසීම ලබන 31 වනදාට කල් තැබිණ.

බීබීසී යෙන්