නාමල් පිළිබඳ එක් පරීක්ෂණයක් අවසන් - FCID

  • 2016 ඔක්තෝබර් 31
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
Image caption "ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ."

මුදල් විශුද්ධකරන පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැත්වූ එක් පරීක්ෂණයක් අවසන්කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

පසුගිය පාලන සමයේ රගර් ක්‍රීඩාවේ දියුණුවට යැයි පවසමින් ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එය කැඳවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ පරීක්ෂණ අවසන්කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇති බවය.

'මේකද යහපාලනය?'

ඒ අනුව පැමිණිල්ල ලබන මාර්තු මස 20 වෙනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය.

අද දින නඩුව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරදකරුවන්වූවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීම රජය විසින් හිතාමතා මගහරිමින් සිටිනු ලබන බවය.

"මේ වනවිට චෝදනාවලට ලක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විදෙස් ගමන් තහනම් කරලා. මගෙත් විදෙස් ගමන් තහනම් කරලා. එහෙත් ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ. මේකද යහ පාලනය " යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්