'මහබැංකු ගනුදෙනුවට වඩා වැඩි අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන්'

  • 2016 ඔක්තෝබර් 31
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කෝප් වාර්තාව පිළිබඳව කරුණු දක්වමින්

කෝප් කමිටු වාර්තාව මගින් ආයතන දහනවයක් පිළිබඳව කරුණු වාර්තාකර ඇති නමුත් ජනමාධ්‍ය අවධානය යොමුවුණේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන පමණක් බව ආර්ථික ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පෙන්වාදෙයි.

අද (ඔක්. 31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අදාළ ආයතන දහනවය අතරින් වැඩිම මුල්‍ය බලපෑම ඇත්තේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්‍රියාකාරකම් බව පිළිගනිමිනි.

ගුවන් සමාගමේ අලාභ

ශ්‍රීලංකා ගුවන් සමාගමේ අලාභ ගැන රටේ සියලු දෙනාට අවබෝධයක් ඇතැයි සඳහන් කළ එරාන් වික්‍රමරත්න ඇමතිවරයා, වත්මන් රජය පසුගිය වසර පුරා එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බව සඳහන් කළේය .

පසුගිය රජය අවධියේ නිසි තක්සේරු කිරීම්වලින් තොරව ආරම්භ කරන ලද ගුවන්ගමන් නිසා අත්වූ අලාභ ආදිය ගැනත් නව කෝප් වාර්තාවේ දැක්වෙන්නේ යැයි සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා, එවැනි අලාභ වාර්තාවෙමින් තිබියදී එම රජය තවත් ගුවන්යානා මිල දී ගැනීමේ ව්‍යාපෘතියක නිරතව සිටි බව පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එකදු ගුවන්යානයක් නොමැති අතර එය සතු සියලු යානා බදුගත් ඒවා කී රාජ්‍ය අමාත්‍යවරයා මිහින්ලංකා ගුවන් සමාගමේ පැවැති යානා දෙක ද බදුක්‍රමයට ලබාගත් ඒවා බව පෙන්වා දුණි.

Image caption පාඩු ලබන මිහින් ලංකා ශ්‍රී ලංකා ගුවන් සමාගමට අනුබද්ධ කිරීමට නියමිතයි.

මිහින්ලංකා

"A 350-900 ගුවන්යානා අටක් කුලියට ගෙන තිබෙනවා. එම එක ගුවන්යානයකට පැය දාහත් හමාරක් නොනවත්වා පියාසර කරන්න පුළුවන්. ඒත් ශ්‍රී ලංකා ගුවන් සමාගම එම යානා යෙදෙව්වේ පැය දෙක තුනේ හතරේ ගුවන් කාලයක් සහිත ඉන්දියාව සිංගපූර් සහ ඩුබායි වැනි රටවල් කරා සිදු කෙරෙන ගමන්වලටයි. අපේ දීර්ඝතම ගුවන් ගමන වන ලන්ඩන් ගමනක් සඳහාත් වැය වන්නේ පැය දහයක් දොළහක් පමණයි. නමුත් කුලියට රැගෙන තිබෙන්නේ පැය දාහත හමාරක ගුවන් කාලයකට සුදුසු යානායි" යනුවෙන් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පාඩුවේ හේතු පැහැදිලි කළේය.

එසේ කුලියටගත් එක් එක් ගුවන් යානය සඳහා රුපියල් ලක්ෂ දාහතරක් බැගින් මාසික බද්දක් ගෙවා ඇතැයි සඳහන් කළ ඇමතිවරයා එවැනි ගුවන් යානයක් රුපියල් ලක්ෂ නවයක වෙළෙඳපොල මිලකට බදු හැටියට ලබා ගැනීමේ හැකියාවක් තිබියදී එක යානයකින් රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් සිදුකර ඇති බව කියා සිටියේය.

එපරිද්දෙන් සමස්ත ගුවන්යානා මගින් ලද අලාභය බැඳුම්කර ගනුදෙනුව මගින් සිදු වූවායයි පවසන අලාභයට වඩා ඉතා අධික බව රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පැවසුවේ, බැඳුම්කර සිද්ධිය මගින් පෙර කී අලාභ යටපත් වූ ආකාරය දීර්ඝ ලෙස විස්තර කරමිනි.

ඒ අතරේදී, පසුගිය රජය තවත් ගුවන් යානා තුනක් බද්දට ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන්කර තිබුණු අතර එය නතර කිරීම සඳහා ඩොලර් මිලියන අනූඅටක වන්දියක් ගෙවීමට සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස ඇතැමුන් විග්‍රහ කළ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවූ වංචාව ඊට වඩා දැවැන්ත බව ඔහු සඳහන් කළේය.

වැලිඅමුණ වාර්තාව

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය පිළිබඳව වැලිඅමුණ වාර්තාව මගින් ඉස්මතුකර ඇති කරුණු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කෙරෙන බවකි.

එම වාර්තාවේ දැක්වෙන කරුණු ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා විසින් බැහැර කරනු ලැබ තිබෙන බවක් මාධ්‍යවේදියකු පෙන්වා දුන් අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ එවැන්නක් සිදුවී නැති බව ය.

බීබීසී යෙන්