'මම ලංකාවේ මුදල් ඇමති - චීනයේ මුදල් ඇමති නොවෙයි'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මම ලංකාවේ මුදල් ඇමති - චීනයේ මුදල් ඇමති නොවෙයි'

  • 2016 නොවැම්බර් 3

චීන තානාපති යී ෂියැංලියන්ග් පසුගියදා එල්ල කළ විවේචනයට අද (නොවැ. 03) ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍යවරයා තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති විනා චීනයේ මුදල් ඇමති නොවන බව අවධාරණය කළේය.

චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින් පසුගිය අඟහරුවාදා (නොවැ.01) චීන තානාපතිවරයා මාධ්‍ය හමුවක් ඇමතුවේ, ණය පිරිවැය වැඩිනම් තවදුරටත් චීනයෙන් ණය ඉල්ලන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කරමිනි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මුදල් අමාතවරයාගෙන් කරුණු විමසුවේ ඔහු අද මහනුවර සංචාරයක යෙදී සිටින අතරතුරය. චීන තානාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය.

තමා චිනයේ මුදල් ඇමති නොව ශ්‍රී ලංකාවේ මුදල් ඇමති බව තානාපතිවරයාට මතක්කර දෙන්නේයැයි පැවසූ ඇමතිවරයා, තමාගේ උත්සාහය ඉතිරි කරගත හැකි තඹ සතය හෝ ජනතාව වෙනුවෙන් ඉතිරි කිරීම බවය. එම උත්සාහයේදී දූෂණයක් හෙළිදරව් වේ නම් ඊට තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

"2% වඩා අරන් නැත්නම් අපි 2% ගානෙම ණය ටික ගෙවන්නම්, ජනාධිපති මාව පත්කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මුදල් ඇමති වශයෙන් මිසක් චිනේ මුදල් ඇමති හැටියට නෙවෙයි, ඒ නිසා අපිට අඩුකරන්න පුළුවන් හැම දේම ජනතාව වෙනුවෙන් මම අඩුකරනවා" යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.