මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ - පක්ෂ විපක්ෂ එකඟතාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ - පක්ෂ විපක්ෂ එකඟත්වයක්

  • 2016 නොවැම්බර් 4

ශ්‍රී ලංකාව, ලෝකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුවෙන්ම දීමනා ලබා දෙන රටවලින් එකක් බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද පවසති.

ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීමත් ඔවුන් ඒවා විකිණීමත් පිළිබඳව මේ සතියේ පැවති මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න, මාලදිවයිනේ මන්ත්‍රීවරුන් පවා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට වඩා දීමනා හිමිවන බව පැවසීය.

මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද ලබාදීම ලෝකයේ සෑම රටකම සිදුවන්නක් බවත් ඔහු පැවසීය.

"මාත් එක්ක ඔබතුමා ඇවිල්ලා දවස් තුනක් ඇවිද්දොත් ඔබතුමා කියයි මේ දෙන එක මදියි කියලා."

තීරු බදු රහිත වාහන බලපත්‍ර

එතරම් දුෂ්කර නම් දේශපාලනයට සම්බන්ධ වූයේ මන්දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මහජන සේවය සඳහා පවතින උනන්දුව හේතුවෙන් දේශපාලනයට එක් වූ බවයි.

වෙනත් මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද අමාත්‍ය රාජිත සේනාරත්න ගේ අදහස අනුමත කළේය.

වැට් බද්ද වැඩිකිරීමෙන් මේ වසරේ ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් තීරු බදු රහිත වාහන බලපත්‍ර හේතුවෙන් රටට අහිමිවන බැවින් ජනතාව වෙනුවෙන් එය ප්‍රතික්ෂේප කර ආදර්ශයක් දෙන්න තිබුනා නොවේදැයි විමසූ විට මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ: "මේ රටේ ඉන්න මන්ත්‍රීවරු තමන්ගේ ඉඩ කඩම් විකුණලා, යාන වාහන විකුණලා එන්නේ. ලෝකේ කොහේවත් ලංකාවේ වගේ අඩු දීමනා දෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ට," යන්නයි.

"ඉතින් ඒ මන්ත්‍රීවරු කරන්නේ මේ ලැබෙන වාහනේ විකුණගෙන තමයි ජන්දේ ණය තුරුස් ටික ඉඳන් පියවලා යන්තම් හුස්මක් ගන්නේ," බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.