උතුරට අලුත් රෝගයක් බෝ වෙලා - ආණ්ඩුකාරවරයා

  • 2016 නොවැම්බර් 8
Image caption 'මහ ඇමතිතුමා එසේ ප්‍රකාශ කළා නම් ඒක ඉතා බලගතු ප්‍රකාශයක්' - ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

උතුරු පළාතේ සියලු කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටීමේ 'අලුත් රෝගයක්' උතුරට බෝ වී තිබෙන බව උතුරේ ආණ්ඩුකාරවරයා පවසයි.

ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඒ බව කියා සිටියේ උතුරේ නිසි පාලනයක් නොමැති බවත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවටත් සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා කළ බව පැවසෙන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

සඳුදා උතුරේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්වරිය හමු වූ අවස්ථාවේ මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

එහෙත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ එය විග්‍රහ කරන්නේ 'පදනම් විරහිත' ප්‍රකාශයක් ලෙසිනි.

Image caption මහ ඇමතිවරයා ඉහත කී අදහස් දැක් වූ බව පැවසෙන්නේ ඒන්ලි බැරන්වරියගේ උතුරේ සංචාරය අතරතුරදී

උතුරේ මහ ඇමතිවරයා ඇතැම් අවස්ථාවල ක්‍රියාකරන්නේ පළාතේ ජනතාවගේ අවශ්‍යතාවයට වඩා ඔහුගේ පුද්ගලික අවශ්‍යතා ඉටුකරගැනීම පිණිස දැයි සැකයක් මතුවන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

"එසේ ප්‍රකාශ කළා නම් ඒක ඉතා බලගතු ප්‍රකාශයක්," බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

දකුණේ ජනමාධ්‍ය තමන්ගේ ඇතැම් ප්‍රකාශ විකෘති කිරීම හේතුවෙන් සිය ජීවිතයට පවා තර්ජන එල්ල වූ බව මහ ඇමති විග්නේශ්වරන් මේ අතර පසුගියදා පවසා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර