'ආවා කල්ලිය' ගැන තවත් පැහැදිලි කිරීමක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ආවා කල්ලිය' ගැන තවත් පැහැදිලි කිරීමක්

  • 2016 නොවැම්බර් 15

උතුරේ ක්‍රියාත්මක 'ආවා' කණ්ඩායමට හිටපු හමුදා සාමාජිකයකු සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඊට හමුදාවේ සම්බන්ධයක් නොමැති බව ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 'ආවා' කණ්ඩායමට හමුදාවේ ඇතැම් කොටස් සමග සම්බන්ධයක් ඇතැයි සඳහන් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ විමසීමකදී.

ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අවධාරණය කළේ 'ආවා ගෲප්' යනු හුදෙක් යතුරුපැදි කල්ලියක් පමණක් බවය.

මේ අතර එහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, 'ආවා' කණ්ඩායම සහ ත්‍රස්තවාදය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුණි.

එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවට හඳුනා ගනු ලැබ සිටින 'ආවා' නමැති පුද්ගලයකු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුද්ගලයන් හැට දෙදෙනෙකු 'ආවා' කණ්ඩායමට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන් කළ ඇමතිවරයා ඉන් තිස් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය.

ඊට සම්බන්ධ තරුණයන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු දහඅටත් විසි පහත් අතර පසු වන්නන් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.