වද කඳවුරු ගැන පරීක්ෂා කළාද? ජිනීවා කමිටුව ප්‍රශ්න කරයි

වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනු කමිටුවකි Image copyright FABRICE COFFRINI/getty images
Image caption වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනු කමිටුවකි

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ කමිටු නියෝජිතයන් එසේ ප්‍රශ්න කළ බව කමිටුවේ කටයුතු නිරීක්ෂණය කළ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය.

ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේද යන්න ආණ්ඩුවේ නියෝජිතයන්ට කමිටුව යොමු කළ තවත් ප්‍රශ්නයකි.

කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු වද කඳවුරක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම පොලිසියේ වදහිංසා පැනවීම් තවමත් නතර වී නැතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී පිළිගත් බවත් සුනන්ද දේශප්‍රිය සඳහන් කළේය.

"නමුත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අඩුයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන වැඩියි," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුල වදහිංසාවලට වැට බැඳීමට ආණ්ඩුව ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බව කමිටු නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

'වදහිංසා තවමත්'

පසුගියදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කෙටි වේලාවකට රඳවා ගැනීම ඔහුගෙන් 'පලිගැනීමක් දැයි' යන්න කමිටුව ආණ්ඩුවට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

"වද හිංසා පැනවීම සම්බන්ධ වාර්තාවල තියන පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් එවැනි නිශ්චිත ප්‍රශ්න ගණනාවක් කමිටු සාමාජිකයන් යොමු කළා."

වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ ප්‍රතිචාරය හෙට බදාදා පළකිරීමට නියමිතයි.

ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණුවලට සාධනීය ප්‍රතිචාරයක් පලකිරීමට එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වනු ඇති දැයි අවධානය පල වී තිබෙන බවත් සුනන්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය.

කමිටු සැසිවාරය අවසානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ කමිටුවේ වාර්තාව ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

(පසු සටහන: මෙම ලිපිය මුල්වරට පළ කෙරුණු අවස්ථාවේ ඇතුළත් වූ ඡායාරූපය ලිපියට සෘජු සබඳතාවක් නොවූ බැවින් වෙනස් කෙරුණු බව කරුණාවෙන් සලකන්න.)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්