තාජුදින් පරීක්‍ෂණ කඩිනම් කරන්න -රහස් පොලිසියට නියෝගයක්

  • 2016 නොවැම්බර් 16
Image caption 2012 වසරේ නාරාහේන්පිට පාක් වීදියේ දී සිය වාහනය තුල දී වසීම් තාජුදින් මරණයට පත් වී තිබුණි

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් ඝාතන පරීක්‍ෂණ කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

අදාළ නඩුව අද (නොවැ. 16) කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් කියා සිටියේ මෙම පරීක්‍ෂණ ආරම්භ කර මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවය.

තාජුදින් ඝාතනය වීමට පැය කිහිපයකට පෙර මිතුරෙකු විසින් ඔහුගේ දුරකතනයට ලබාදුන් ඇමතුමක් පිළිබඳව පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිවේදියා කියා සිටියේය.

'තීරණාත්මක සන්ධිස්ථානයකට'

එමගින් තාජුදින් ඝාතන පරීක්‍ෂණය තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වනු ඇතැයිද රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ දුරකථන ඇමතුම් පද්ධති පිළිබඳව පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්ණේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ලබන 30 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර