ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනීමට හම්බන්තොට ජනතා විරෝධය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනීමට ජනතා විරෝධයක්

  • 2016 නොවැම්බර් 18

හම්බන්තොට නව ආයෝජන කලාපය වෙනුවෙන් ඉඩම් පවරා ගැනීමට අදාළව මැණුම් කටයුතු සඳහා පැමිණි රජයේ නිලධාරීන් හා අම්බලන්තොට මඬිල්ල ප්‍රදේශයේ ජනතාව අතර අද (නොවැ.18) නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි.

පෙර දැනුම් දීමකින් තොරව අදාළ මැණුම් කටයුතු සඳහා පැමිණ ඇති බවට චෝදනා නැගූ ප්‍රදේශවාසීන් ඊට විරෝධය පෑම එම තත්ත්වයට හේතුවිය.

ආයෝජන කලාපයක්

චීන රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයක් පිහිටුවීමේ වැඩපිළිවෙලේ මුල් අදියරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 5000 ක් පවරාගැනීමට නියමිතව තිබේ.

හම්බන්තොට මානජ්ජාව වසම තුළින් ඉඩම් අක්කර 500 ක්, සාමොදාගම වසමේ කටුවැව,පහල බැරගම ,ගල්වැව ,බැල්ලගස්වැව ප්‍රදේශවලින් මෙන්ම මහවැලි ඉඩම් තුළින් ද මෙම අක්කර 5000 සඳහා ඉඩම් පවරා ගැනීමට කටයුතු කරන බව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ .කේ .ඒ සුනීතා සඳහන් කළාය.

එහෙත් එළෙස තම ඉඩම් පවරා ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රදේශවාසීහු පවසති.

හිතුමනාපයට බැහැ

"හම්බන්තොට වරාය හා ඒ තදාසන්න ප්‍රදේශ සංවර්ධනය සඳහා අක්කර 15000 ක් රජයට පවරා ගන්නා බවට අපට දැනුම් දීලා තියෙනවා. නමුත් මෙම පැරණි ගම්මානවල ඉන්න ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. සංවර්ධනය කළා කියල හිතුමනාපයට ඉඩම් පවරා ගන්නවට අපේ ගම්වාසීන් කිසිකෙනෙක් කැමති නෑ," බැරගම ගල්ලවිල රජමහා විහාරයේ විහාරාධිපති බැරගම විමල බුද්ධි හිමියෝ පැවසූහ.

"මේ ඉඩම් 1936 අපේ සියලාට දීපුවා. මේ හතර වෙනි පරම්පරාව මේ ඉඩම්වල ඉන්නේ. ඒ නිසා මේ ප්‍රදේශවාසීන්ට හානියක් නොවන පරිදි ගෙවල් දොරවල් නැති ප්‍රදේශයන්ගෙන් ඉඩම් ගන්නෙයි කියලා තමයි අපි කියන්නේ," මඩිල්ල ප්‍රදේශවාසියකු වන ඩේවිඩ් මල්ලිකාආරච්චි පැවසීය.

"වස බීල ගෙදරම මැරුණත් අපි යන්න කැමති නැහැ" යැයි ප්‍රදේශවාසී කාන්තාවකවන ජී ජී විජේසේකර කියා සිටියාය.

'දැනුවත් කළා'

කෙසේ නමුත් අදාළ ඉඩම් පවරාගැනීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කරන ලද බව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ .කේ .ඒ සුනීතා අවධාරණය කරයි.

"මෙතැනදී විරෝධය පෑවේ ඉඩම් අහුවෙන්නේ නැති අය. මම දන්නා තරමට මොනරාගල, හම්බන්තොට, මාතර ,රත්නපුර යන දිස්ත්‍රික්ක තුනෙන්ම තමයි ඉඩම් අක්කර 15000 ක් ගන්න සැලසුම් කරලා තියෙන්නේ," ඇය පැවසීය.

අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පවරා ගැනීමට නියමිතව ඇත්තේ ඉඩම් අක්කර 5000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව ද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය.