ආවා කණ්ඩායමට 'කුමන නීතියක් යටතේ හෝ දඬුවම් දිය යුතුයි'

  • 2016 නොවැම්බර් 20
විව්නියව

යාපනයේ 'ආවා' කල්ලියට සම්බන්ධ පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ කුමන හෝ නීතියක් යටතේ අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබාදිය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 'ආවා' කල්ලිය යනු 2015 වසරේ උතුරේ ඡන්ද මංකොල්ලකෑම් ඇතුළු තවත් අවශ්‍යතා කීපයක් වෙනුවෙන් බිහි කරන ලද්දක් බවය.

වවුනියාවේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් විවෘත කිරීම සඳහා සංවිධානය කරන ලද උත්සව සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න සහ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි එක් වී සිටි අතර එහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කළේය.

මාධ්‍යවේදීන් විසින් නගන ලද එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වූ අමාත්‍ය රාජිත සේනාරත්න, 'ආවා' කල්ලිය නිර්මාණය කිරීමට පැවති රජයේ අනුග්‍රහය ලැබුණු බවට චෝදනා කළේය.

මේ අතර පළාත් සභාවක් 'මහ අලියෙකු' හෝ 'සුදු අලියෙකු' කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් යැයි කියා සිටි අමාත්‍යවරයා උතුරු පළාත් සභාව ශක්තිමත් කර බලය විමධ්‍යගත කිරීම පියවරෙන් පියවර සිදු කෙරෙන බවද පැවසීය.

මෙවර අයවැයෙන් වෙන්කරන ලද මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන පළාත් සභා ඇත්නම් ඒ පිළිබඳ මුදල් අමාත්‍යංශය දැනුවත් කරන මෙන්ද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර