'ෆෙඩරල් ක්‍රමය ගැන වැරදි අර්ථකතන දීලා'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

''ෆෙඩරල් යනු බෙදීමක් නොවෙයි''

  • 2016 නොවැම්බර් 22

රටක ඒකීයත්වය රැකීමට උපකාරී වන ෆෙඩරල් ක්‍රමය රට බෙදීමේ සංකල්පයක් යනුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලකයන් වැරදි ලෙස අර්ථගන්වා ඇති බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.

එබැවින් වැරදි අර්ථකතනයක් ලබා දී ඇති ෆෙඩරල් ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීම යනු රට බෙදා වෙන් කිරීමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වී තිබීම මීට හේතු වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ යම් කෙනෙකු මියගිය පසු ඔවුන් සිහි කිරීම සාමාන්‍ය කරුණක් බැවින් මහවිරු දිනය නම් කොට ඇත්තේ යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් බවය.

එහි වරදක් නොපෙනෙන බව ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රශ්න කළේ වසරේ එක් දිනකදී සියලුම ඥාතීන් එකතුව සිය පවුල්වල මියගිය සාමාජිකයන් සිහි කරමින් දෙවියන් වැඳීම වරදක්ද යන්නයි.

එල්ටීටීඊ සංවිධානය කෙරෙහි පවතින වෛරය මුල්කරගෙන ඒ දෙස බැලීමෙන් මේ ප්‍රශ්නය උද්ගත වී ඇති බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න සොයා බැලීම මේ හේතුවෙන් මගහැරෙන බව පැවසීය.

ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් වැඩි දුරටත් කියා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උතුරේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර දහසක් ලබා දෙන බව ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම ඔවුන්ට ලබා දී හැකිව ඇත්තේ අක්කර හාරසීයක් පමණක් බවය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමට නම් එම ඉඩම්වලින් යුද හමුදාව ඉවත් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.