ජනපති අරමුදල 2
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපති අරමුදල : දේශපාලකයින් හා ජනතාව

  • 2016 නොවැම්බර් 23

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අසනීප වුවහොත් ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් මුදල් සැපයිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඒ අනුව, තමන්ට පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවකට අසූව දශකයේ සිට ම ජනාධිපති අරමුදල උපකාරීවී ඇති බව ඔහු පෙන්වා දුන්නේ අද (නොවැ.23) පැවැති කැබිනට් තීරණ දැනුණුදීමේ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පැවැති ආණ්ඩුව මෙන් ම වත්මන් ආණ්ඩුව ද මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් විශාල මුදලක් වැයකර ඇති බව කියා සිටියේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රතිකාර සඳහා එම අරමුදලෙන් රුපියල් ලක්ෂ 100ක් දී ඇති බව ද පෙන්වා දෙමිනි.

එසේ තමන්ට මුදල් ලැබුණු බව තහවුරු කළ රාජිත සේනාරත්න ඇමතිවරයා, එය තමන්ගේ තීරණයක් නොවන බවත්, දේශපාලන හේතු මත තමන්ව විදේශයකට ගෙන ගොස් ප්‍රතිකාර කරවන ලෙසට ඉහළින් නියෝග දී තිබුණු බවත් සඳහන් කළේය.

රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා

එසේනම්, පසුගිය ආණ්ඩුව සමයේ පුද්ගලික සංචාරයක යෙදී සිටියදී ඇද වැටීමකට ලක්වූ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 109ක් දීම සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙන්නේ මන්දැයි විමසූ විට ඇමති සේනාරත්න පෙන්වා දුන්නේ ජනාධිපති අරමුදල මෙන් ම වෙනත් තැනකින් ද මුදල් ලබාගැනීම හේතුවෙන් එම පරීක්ෂණ ක්‍රියාත්මකවන බවය.

ප්‍රභූ පිරිස්වලට අමතරව කලාකරුවන්ට ද ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් මුදල් සැපයෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවද, දේශපාලකයින් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් සැපයුවද, සාමාන්‍ය ජනතාවට ලැබෙන උපරිමය රුපියල් 175,000 ක් නොවේදැ'යි බීබීසී කළ විමසීමට පිළිතුරු ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ එම මුදල ද ඇතැම් අවස්ථාවල වැඩිකරන බවය.