අනුර කුමාර දිසානායක සහ රන්ජන් රාමනායක
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලකයන් හැසිරවෙන්නේ මාධ්‍ය මාෆියාවෙන් - රන්ජන්

  • 2016 නොවැම්බර් 28

තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලකයින් මෙහෙයවනු ලබන මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මකවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව අද (නොවැ.28) පැවති විවාදයේදී කථා කළ නියෝජ්‍ය ඇමති රාමනායක, මේවනවිට රටේ ප්‍රධාන පක්ෂ දෙක මෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින් හසුරුවනු ලබන්නේ මාධ්‍ය නාලිකාවලට අවශ්‍ය ආකාරයට බව පෙන්වා දුණි.

මාධ්‍ය නාලිකා සම්බන්ධ සිදුවීම් පිළිබඳ කරුණුවලදී තමන්ට ප්‍රචාරණය හිමි නොවනු ඇතැයි යන තත්ත්වය මත දේශපාලකයින් ස්වයං වාරණයක් පනවාගෙන ඇතැයි ඔහු පැවසීය.

'ස්වයං වාරණයක්'

මෑතදී විනිසුරුවරියක මරණීය දණ්ඩනය නියම වූ හිටපු මන්ත්‍රීවරයෙකු හොර රහසේ හමුවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකළේ ඒ හේතුව නිසා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විවාදය ආරම්භ කරමින් කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා හා අගමැතිවරයා මාධ්‍ය විවේචනය කිරීම මගින් මාධ්‍ය මර්දනය ආරම්භ කර ඇති බව කියා සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුව කිසි විටෙකත් මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා කටයුතු කර නොමැති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, මාධ්‍ය සමග ගැටුම් ඇතිකරගෙන සෑම ආණ්ඩුවක්ම අවසන් ගමන් ගියා සේ මේ ආණ්ඩුවද දැන් මාධ්‍ය සමග ගැටුම් ඇතිකරගැනීම ආරම්භ කර ඇති බව පෙන්වා දුණි.