"සිව්වෙනි ආණ්ඩුවේත් අල්ලස්කාරයෝ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"සිව්වෙනි ආණ්ඩුවේත් අල්ලස්කාරයෝ"

  • 2016 නොවැම්බර් 30

පුවත් පළ කිරීම සඳහා මුදල් ලබා ගන්නා මාධ්‍යවේදීන් පිළිබඳ තමන් වෙත පැමිණිලි ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසයි.

අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් කිසි මාධ්‍යවේදියකු අල්ලස් ලබා ගන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න සමග සාකච්ඡා කළ බවය.

"ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබෙන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සුද්ද කරන්නේ නම්, හතර වෙනි ආණ්ඩුව වන මාධ්‍යත් සුද්ද කරන්න අවශ්‍යයි" ආචාර්ය රංග කලංසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්පත් ආයතනය යටතේ පවතින පුවත්පත් පැමිණිලි කොමිසමට නීතිමය රාමුවක් නොමැති බැවින් වැරදි නිවැරදි කිරීමේ යාන්ත්‍රණයට ශක්තියක් ලබා දීමට එම ආයතනයට හැකියාවක් නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය එහිදී පැවසීය.

විකාශන මාධ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බවත් ඔහු පෙන්වා දුණි.

මමත් පත්තරකාරයෙක් - ජනාධිපති

රට තුළ ක්‍රියාත්මක වෙබ් මාධ්‍ය යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් විය යුතු බව කියා සිටි ඔහු 'ඒ ආචාරධර්ම පද්ධතිය හදන්නේ ආණ්ඩුව නොවෙයි. එය සැකසිය යුත්තේ ස්වාධීන මණ්ඩලයක් විසින්" යනුවෙන් සඳහන් කළේය.

මාධ්‍යවේදියන්ගේ වෘත්තීය ඉල්ලීම් සහිත සංදේශයක් ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් එම අවස්ථාවට පැමිණ සිටි ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් උපරිම සහන ලබා දීම සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කරන බව එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ මාධ්‍ය සංගම්වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව කී ජනාධිපතිවරයා මාස දෙකකට වරක් එහි ප්‍රගතිය තමා වෙත වාර්තා කිරීමට උපදෙස් ලබාදෙන බව ද පැවසීය.

මාධ්‍යවේදීන් ස්ථීර වැටුප් තලයක පිහිටුවීම සඳහා කමිටුවේ අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.