"පරණ තුණ්ඩුවෙන් බෙහෙත් ගන්න එපා"

  • 2016 දෙසැම්බර් 4
"පරණ තුණ්ඩුවෙන් බෙහෙත් ගන්න එපා" Image copyright Getty Images

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව සිය අභිමතය පරිදි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා ගැනීමේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

එසේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

"අපි පුරුදු වෙලා සිටිනවා කාලෙකට කලින් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගත් විට, වෛද්‍යවරයා ලබා දුන් ඖෂධ තුණ්ඩුව පෙන්නලා එවැනි රෝග ලක්ෂණ නැවත මතු වූ විට බෙහෙත් බොන්න. ඇතැම් විට රෝග ලක්ෂණ එක වගේ පෙනුනට රෝගය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්," වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේය.

'පරණ තුණ්ඩුව'

ප්‍රතිජීවක ඖෂධ සඳහා දක්වන ප්‍රතිරෝධනය (Resistance) ඉහළ යෑම තුළ වෛරස් සහ බැක්ටීරියා නැසීමට ඇති හැකියාව හීනවන බව පෙන්වා දෙන වෛද්‍යවරයා ප්‍රතිජීවක පමණක් නොව ඕනෑම ඖෂධයක් ලබාගත යුත්තේ වෛද්‍ය උපදේශ මත පමණක් බව අවධාරණය කරයි.

කෙසේවෙතත් ඖෂධ පනතට අනුව වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වෙළඳසැල්වලින් ඖෂධ මිලදී ගත නොහැකි බවත් ඔහු පැවසීය.

ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධනය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මකවන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය කේෂ්ත්‍රයට අමතරව මත්ස්‍ය වගාව සහ කෘෂිකර්මාන්තය තුළත් දිලීර නාශක යොදා ගන්නා බැවින් ප්‍රතිරෝධනය අවම කිරීමේ වැඩසටහන එම අංශ තුළත් ක්‍රියාත්මකවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්