තිස්සට ඇප

  • 2016 දෙසැම්බර් 5
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කළ බවට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි
Image caption එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කළ බවට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි

රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද (දෙසැ.05) කොළඹ මහාධිකරණයේ නියෝගය පරිදි ඇප මත මුදා හරිනු ලැබීය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට ක්‍රියා කළ බවට චෝදනා නගමින් නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබිණි.

එම නඩුව පසුගිය නොවැම්බර් 04 වනදා විභාගයට ගැනුණු අවස්ථාවේදී විත්තිකාර තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අද නඩුව යළි කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥවරයා, විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම දින පනහකට අධික කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටීම යන කරුණු සැළකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය පිළිගත් අධිකරණය, රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත තිස්ස අත්තනායක මුදා හැරීමට නියෝග කළ අතර නඩු විභාගය මාර්තු මස 20 වෙනිදා තෙක් කල් තැබිණි.

ඇප මත නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ තිස්ස අත්තනායක," මම දින පනහකට අධික කාලයක් දේශපාලන සිරකරුවකු වශයෙන් සිටියා. දැන් මා නැවතත් දේශපාලනයට තල්ලු වී තිබෙනවා." යැයි ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර