කැප්පෙටිපොල ජාතික වීරයකු සේ නම් කිරීමට නිර්දේශ

  • 2016 දෙසැම්බර් 5
කැප්පෙටිපොල ජාතික වීරයකු සේ නම් කිරීමට නිර්දේශ Image copyright Keppetipolafoundation.org

1818 වසරේ කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කොට බ්‍රිතාන්‍ය පාලනය විසින් 1818 වසරේ ජනවාරි 10 වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍යංශය නිර්දේශ කළේය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇති බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

1815 වසරේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

පසුව 1818 වසරේදී උඩරට නායකයෝ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කළහ.

බ්‍රිතාන්‍ය පාලනය විසින් එම කැරැල්ල පරාජයට පත් කරන ලද අතර ඊට සම්බන්ධ වූ ඉහළ පෙළ නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කිරීමට එවක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රව්න්රිග් කටයුතු කළේය.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව සටන් කළ එම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කැප්පෙටිපොල අධිකාරම්, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ, යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙලා රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේ මල්හෙයායේ ගමැතිරාලේ යන නායකයන් වසර 200 කට පමණ ඉහතදී නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් රාජ්‍ය ද්‍රොහීන් ලෙස නම් කරනු ලැබ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්