හම්බන්තොට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා

  • 2016 දෙසැම්බර් 5

හම්බන්තොට නව ආයෝජන කලාපය සඳහා ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ප්‍රදේශවාසීහු දින ගණනාවක් මුළුල්ලේ විවිධ උද්ඝෝෂණවල නිරතව සිටිති.

ඉඩම් අත්පත් කරගැනීමට සම්බන්ධ සමීක්ෂණ සහ මැනුම් කටයුතු සඳහා ප්‍රාදේශීය නිලධාරීන් පැමිණි නමුත් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවිය.

ප්‍රදේශවාසීන් වෙනුවෙන් නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ ගල්ලවිල පුරාණ විහාරයේ විහාරාධිපති බැරගම විමලබුද්ධි හිමියෝ, රජයේ සංවර්ධන කටයුතුවලට ජනතාව විරුද්ධ නැති නමුත් ඒ සඳහා ජනතාව පදිංචි ඉඩම් පවරා නොගන්නා මෙන් ඉල්ලීමක් කළහ.

එහෙත් නිවාස අතහැර ඉඩම් පවරා ගන්නේ නම් අක්කර 1000 ක් වත් අත්පත් කර ගැනීමට නොහැකි වන බව ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ අදහස් දැක්වූ ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.

ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ජනතාව දක්වන විරෝධය හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේද සාකච්ඡාවට ගැනුනි.

එහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ආයෝජන කලාපය සඳහා ජනතාව වෙසෙන ප්‍රදේශ යොදා නොගන්නේ නම් එම ප්‍රදේශ තුල මැනුම් කටයුතු සිදු කිරීමෙන් වලකින මෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් ඇතුළු ඉඩම් පවරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය, ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු සුළු පරිමාණ වගාකරුවන් අතර පවතින කෘෂිකර්මාන්තය සීමිත පිරිසක් අතට පත් කිරීමේ 'බියකරු සැලසුමක්' පවතින බවට අනතුරු අඟවයි.