හිරු
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝ" යැයි යොදන්න - හිරුණිකා

  • 2016 දෙසැම්බර් 6

බන්ධනාගාරගත කෙරෙන දේශපාලනඥයන්ට වෙනත් සිරකරුවන්ට නොමැති විශේෂ වරප්‍රසාද හිමි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රශ්න කරයි.

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ වරදකරුවන් වී බන්ධනාගාරගත කෙරෙන සියලුම දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලේ ඇඳන් මත සුවසේ පසුවන බවය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවමට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති රෝග විනිශ්චයන් නිවැරදි නොවන බවටත් ඇය චෝදනා කළාය.

"අර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගහලා තියෙනවා සියලුම සිරකරුවන් මනුෂ්‍යයෝය කියලා. ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ගහ ගන්න" පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය.

මේ අතර හිසට වෙඩි වැදීම හේතුවෙන් සැත්කම් කීපයකට භාජනය කෙරුණු සිය සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති වෛද්‍ය වාර්තා, අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට පරික්ෂා කොට බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරිය දිලිනි සිල්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.