කරුණා අම්මාන්ට ඇප

  • 2016 දෙසැම්බර් 7
Image caption රුපියල් නවකෝටි අසූ ලක්ෂයක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ

රජයේ වාහනයක් අවභාවිතයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර තිබූ හිටපු අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් රුපියල් නවකෝටි අසූ ලක්ෂයක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

සුවිශේෂ කරුණක්

ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් අද (දෙසැ. 07) විත්තියේ නීතිවේදියා කියා සිටියේ බන්ධනාගාරය තුළ සැකකරුට ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුවී ඇති බවය.

එය සුවිශේෂ කරුණක් සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර කරුණා අම්මාන් රුපියල් ලක්ෂ දහයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම ඉරිදාවකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට ද නියෝගයක් නිකුත් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර