ඊපීඩීපී සාමාජිකයන් තිදෙනෙකුට මරණ දඬුවම

  • 2016 දෙසැම්බර් 7
Image copyright Thinkstock
Image caption දෙදෙනෙකුට පහරදී මරදමා තවත් දහඅට දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ වරද

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (EPDP) සාමාජිකයන් තිදෙනෙකුට අද (දෙසැ. 07) යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

2001 වර්ෂයේ නොවැම්බර් මස 28 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකුට පහරදී මරදමා තවත් දහඅට දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ වරද මත ඊ.පී.ඩී.පී. සාමාජිකයන් හයදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් සංවිධානය කරමින් සිටියදී පොලු මුගුරු රැගත් ඊ.පී.ඩී.පී. සාමාජිකයින් පිරිසක් එතැනට කඩාවැදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකොට තිබුණි.

රටින් පලාගොස්

වරදකරුවන් ලෙස හඳුනාගත් ඊ.පී.ඩී.පී. සාමාජිකයින් හයදෙනාගෙන් දෙදෙනෙකු රටින් පලාගොස් ඇති බවට අධිකරණයට තොරතුරු ලැබුණු අතර මෙම නඩුව විභාග කෙරුණේ එම සැකකරුවන් දෙදෙනා නොමැතිව බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එම්. සහාන්තන් පැවසීය.

ඉතිරි සැකකරුවන් හතර දෙනාගෙන් එක් අයෙකු අධිකරණයේදී නිදහස ලැබූ අතර අනෙක් සැකකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියමවූ අතර මියගිය පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටද විනිසුරුවරයා නියෝග කළේය.