"ජාතික ආරක්‍ෂාවට හමුදාව තර කිරීම පමණක් මදි"

  • 2016 දෙසැම්බර් 7
Image caption "බලය ඉලක්ක කරගෙන කටයුතු කළොත් අපේ රටේ සෑම කෙනෙකුටම අනාගතය තුළ දුක්වෙන්න සිදුවේවි"

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ආරක්ෂක හමුදාව තරකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

ජනාධිපතිවරයා අද (දෙසැ. 07) මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමිනි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා මෙන්ම රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ජාතික ආරක්ෂාව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දේශපාලන වාසි

"ජාතික ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවක් විදියට තියෙන වගකීම සහ යුතුකම සැමවිටම ඉතාමත් ඉහලින් සහ අවංකවම අපි ඉෂ්ට කරන බව සඳහන් කරන්න ඕන. කිසිම තැනක අපි ඒවා දුර්වල කරලා නැහැ. දුර්වල කරන්නෙත් නැහැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරිපත් කරන විවේචනවලදී මේ කාරණාව සුළු කොට තකා දේශපාලන වාසිවලට අරගෙන, බලය ඉලක්ක කරගෙන කටයුතු කළොත් මම හිතනවා අපේ රටේ සෑම කෙනෙකුටම අනාගතය තුළ දුක්වෙන්න සිදුවේවි." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් කණ්ඩායම් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳව සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ජනතාව නොමග යවන සුළු මතවාද ප්‍රචාරය කරමින් සිටින බවටත් ජනාධිපතිවරයා චෝදනා කළේය.

විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යභාරයේදී දේශපාලන වාසි උදෙසා ක්‍රියාකිරීම රටේ අනාගතයට කිසිසේත් සුබදායක නොවන බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර