මම සමසමාජකාරයෙක්; භය කරන්න බැහැ -ජයම්පති

  • 2016 දෙසැම්බර් 7
Image caption ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (පා.ම.)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට දායකවීම නොරුස්සන 'අන්තවාදී කණ්ඩායම්' තමාට සහ තම පවුලට මරණ තර්ජන ඉදිරිපත් කළත්, සමසමාජ පක්ෂයේ හැදී වැඩුණ තමා එමගින් නිහඬ කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

තමාට දුරකතනයෙන් එල්ල කෙරුණ තර්ජන පිළිබඳව මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තුවට දැනුම්දුන් අතර ඒ පිළිබඳව පොලිසියට ද පැමිණිල්ලක් කරන ලද බව බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය.

'ප්‍රසිද්ධියේ සඳහන් කළ නොහැකි මට්ටමේ පරුෂ වචනයෙන් බැන වදිමින් මට තර්ජනය කළා.මමත් මගේ පවුලේ සාමාජිකයනුත් මරාදමන බවට. අන්තවාදී කොටස්වලින් මෙවැනි තර්ජන බලාපොරොත්තු විය යුතුයි' පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැඩිදුරටත් කියා සිටියේය.

එවැනි තර්ජන එල්ල වීමට හේතුව තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ක්‍රියාත්මකවීම යයි අදහස් කරන මන්ත්‍රීවරයා, විශේෂයෙන්ම බලය බෙදා හැරීමට එරෙහි කණ්ඩායමකින් ඉහත කී තර්ජන එල්ල කෙරෙන්නට ඇතිබව අනුමාන කරයි.

තමාට තර්ජනය කළ පුද්ගලයන් 'ජාතික ගැටලුව සම්බන්ධ කර ගනිමින්' එම තර්ජන එල්ල කළ හෙයින් එවැනි නිගමනයකට එළඹිය හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම අතින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව බීබීසිය විමසූ විට මේවනවිට අනුකමිටු හයක වාර්තා ලැබී ඇති අතර ඒවා මුද්‍රණයෙන් මහජනතාව අතට පත්කිරීමට පියවර ගන්නා බව ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර