ලංකා ඊ නිවුස් වරෙන්තුව ක්‍රියාත්මක කරන්න බෑ - ඉන්ටර්පෝල්

  • 2016 දෙසැම්බර් 9
වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර Image copyright Lankaenews
Image caption වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර

ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීරට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත්වරිය පසුගියදා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසීය දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර පොලිසියේ එම තීරණය රහස් පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ලංකා ඊ නිව්ස් අඩවියේ පළකෙරුණ පුවත් උපුටා දක්වමින්, පෙත්සම් සියල්ලම ගොනු කර තිබෙන්නේ නීතිවේදී මධුර විතානගේ විසිනි.

විනිශ්චයකරුවන්ගේ පුද්ගලිකත්වයට හානි සිදුවන ආකාරයේ පුවත් රාශියක් වෙබ් අඩවියේ පළකර තිබුණු බව පවසන පෙත්සම්කරු, සිය පෙත්සම්වල වගඋත්තරකරු ලෙස වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නම්කර තිබේ.

ජාත්‍යන්තර පොලිසියේ තීරණය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳව සලකා බලමින් සිටින බව නීතිඥ මධුර විතානගේ සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ සිටි නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.

"මේක අපටත් හිතාගන්න බැහැ. අධිකරණයට අපහාස කිරීම තමයි අපරාධ අතර තිබෙන විශාලතම අපරාධය. මේ විදියට බැලුවොත් මෙරට ඕනෑම අපරාධයක් සිදුකොට විදේශයකට ගිහින් සැගවී ඉන්න පුළුවන්," ඔහු පැවසීය.

ලංකා ඊ නිවුස් කතුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස සිය පෙත්සම්වලින් ඉල්ලා සිටින නීතිඥ විතානගේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාගයක් පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර