සිරිපා වන්දනා සමය ඇරඹෙයි

  • 2016 දෙසැම්බර් 12
සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමා වැඩමවීම

ගෞතම බුදුන්ගේ වම් සිරිපා සලකුන පිහිටි බව බෞද්ධයන් විශ්වාස කරන ශ්‍රීපාදස්ථානයේ වන්දනා වාරය ආරම්භ කිරීම් වස් සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මලුව තෙක් වැඩම කරවනු ලැබිණ.

ඒ හැටන් මාර්ගය, රත්නපුර මාර්ගය සහ බළන්ගොඩ මාර්ගය ඔස්සේ සිරිපා මලුව වෙත ගමන කළ පෙරහර තුනකිනි.

සෑම වසරකම මාස හයක් මුළුල්ලේ සිරිපා වන්දනා සමය පැවැත්වෙන අතර, උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන පෙරහර ඊළග වසරේ වෙසක් පොහොය දිනයෙන් අවසන් වෙයි.

සිරිපා සමය සිරිපා වාරය ලෙස හැඳින්වෙන අතර, මැයි සිට දෙසැම්බර් පොහොය දක්වා කාලය හැඳින්වෙන්නේ අවාර සාමය ලෙසිනි.

බෞද්ධයන් පමණක් නොව, ශ්‍රීපාදස්ථානය සිය පූජනීය භූමියක් ලෙස සලකන හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ද සිරිපා වන්දනාවේ යෙදීම විශේෂත්වයකි.

අවාර සමයේ සධාතුක කරඬු සහ සමන් දේව පිළිම රත්නපුර, පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ තැනපත් කර තැබේ.

සමන් දේව පිළිමය වැඩම කරවන පෙරහරට බෞද්ධයෝ මෙන්ම හින්දූන් ද එකලෙස පූජා පවත්වති.