ඉඩම් පවරාගැනීමට විරෝධයපා හම්බන්තොට විරෝධයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉඩම් පවරාගැනීමට විරෝධයපා හම්බන්තොට විරෝධයක්

  • 2016 දෙසැම්බර් 14

හම්බන්තොට නව ආයෝජන කලාපය සදහා අක්කර 15000ක් චීන රජයට පවරාදීමෙන් තම ගම්බිම් අහිමිවනබව පවසමින් විරෝධය පළකරන ප්‍රදේශයේ ජනතාව තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය මිරිජ්ජවිල මංසන්ධියෙන් හරස් කරමින් අද (14) උදේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වූහ.

පෙරවරු 10 ට පමණ රැස්වූ උද්ඝෝෂකයෝ චීන සමාගමට ඉඩම් ලබාදිමට විරෝධය පළකෙරෙන බැනර් සහ පොස්ටර් රැගෙන ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයේ නියැලී සිට පසුව ප්‍රධාන මාර්ගය හරස් කරමින් රථ වාහන ගමනා ගමනයට බාධාවන සේ උද්ඝෝෂණය කළහ.

මෙම විරෝධතාවය හේතුවෙන් පැයක පමණ කාලයක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා ඇතිවිය.

විරෝධතාවය පැවැත්වූ ප්‍රදේශයේ විශාල පොලිස් භටපිරිසක් යොදවා තිබුණු අතර සාමකාමී ලෙස පැවැති විරෝධතාවය නිමාවට පත් වූයේ සිය ගම් බිම් ලබා දිමට ජීවිත පරිත්‍යාගයෙන් මෙම සටන ඉදිරියට ගෙනයන බවට ශපථ කරමිනි.

මෙම උද්ඝොෂණයට එක් වි සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති කියා සිටියේ පක්ෂභේදයෙන් තොරව රැස් වූ මෙම ජනතාව සිය ගම්බිම් හැරදා යෑමට නොහැකි බව පවසන අතර එයට පූර්ණ සහාය පල කරන බවයි.

"ජාතික මට්ටමේ සංවර්ධනයට හා හම්බන්තොට සංවර්ධනයට එකඟ නමුත් මෙම අවිධිමත් සංවර්ධනයට අපි විරුද්ධයි. රාජපක්ෂලා පටන්ගත්තා මේ රටේ ගම්බිම් විකුණලා විනාශකරලා අවිධිමත් සංවර්ධනයක්. ඒ සංවර්ධනයේම අඩි පාරේ යමින් මේ යහපාලන ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ,මෛත්‍රිපාල මේ යහපාලන ආණ්ඩුව, නැවත වතාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ ගම බිම් වලින් ඒ මිනිසුන් ඇදලා දාලා ගෙවල් දොරවල් කඩලා දාලා මේ කරන අවිධිමත් සංවර්ධනයට අපි මුළුමනින්ම විරුද්ධයි." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති වැඩිදුරටත් කියා සිටියේය.