අපි ඔක්කොම එකයි - අම්පිටියේ සුමනරතන හිමි

  • 2016 දෙසැම්බර් 14
Image caption පොලීසිය ගත තීරණය නිසා ප්‍රශ්ණය ඇතිවූ බවයි උන්වහන්සේ පවසන්නේ.

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මඩකලපුව අධිකරණය තීන්දුකළේය.

සුමනරතන හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් ප්‍රසන්න පැවසුවේ පසුගිය තුන් වැනිදා විහාරස්ථානය අසළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම, පෙළපාලි යෑම සහ මහජන සාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධව අධිකරණයෙන් සිතාසියක් ලැබී තිබුණු බැවින් කරුණු ඉදිරිපත්කිරීම සඳහා උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනීසිටි බවය.

"මෙහිදී දෙපාර්ශවය- පොලිස්ථානය සහ අපි, ඉදිරිපත්කරපු කරුණු සලකලා අපේ හාමුදුරුවන් වහන්සේට ඇප නියම කළා. රුපියල් පනස් දාහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළා. ඊළඟ නඩු දිනය ජනවාරි මාසේ 25 වැනි දින පැවැත්වෙනවා" යනුවෙනුයි නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කළේ.

එහිදී සුමනරතන හිමියන්ද අදහස් පළකරමින් පැවසුවේ තමන් කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවය.

"මේක වුණේ මුස්ලිම් දරුවන්ගෙ, දෙමල දරුවන්ගෙ වැරැද්දෙන් නොවෙයි. පොලීසිය ගත්ත තීරණය නිසා. ඒ නිසා මගෙ දෙමල සහෝදරයො, මුස්ලිම් සහෝදරයො, අපි දෙමලා කියනව, මුස්ලිමය කියනව, ඒවා තරහට නොවෙයි, අපි රන්දුවෙනකොට කියන දේවල්.නැවත අපි යාලු වෙනව. අපි ඔක්කොම එකයි. මම මඩකලපුවේ සාදු, ඒ නිසා මම කිසි කෙනෙක් එක්ක තරහ නෑ" යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

මේ අතර මෙම චෝදනාව මතම අත්අඩංගුවට ගෙන සිටි ඉලංකෙයි තමිල් අරසුකච්චි තරුණ සභාවේ උප සභාපති පූපාල රාජා විජයකුමාර් සහ පී සුරේෂ් යන දෙදෙනාට විරුද්ධව පොලීසිය අධිකරණයට සැපයූ වාර්තාව මත සිතාසි නිකුත්කොට තිබුණු අතර අධිකරණයේ පෙනී සිටි පූපාල රාජාද රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබිණි. එසේම පී සුරේෂ් නැමැත්තා රටින් පිටවී සිටින හෙයින් සිතාසි ලබාදීමට නොහැකිවූ බවද අධිකරණය හමුවේ ප්‍රකාශයට පත්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර