දශක තුනකට පසු උතුරේ සිට දකුණු ඉන්දියාවට මගී නෞකාවක්

  • 2016 දෙසැම්බර් 18
සංරක්ෂිත ඡායාරූපයක් Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

මගී නෞකාවකට උතුරේ සිට දකුණු ඉන්දියාව දක්වා ගමන් කිරීම සඳහා වසර තිස් දෙකකට පසු පළමු වරට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර ලබා දී තිබේ.

දකුණු ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 'තිරුවාතිරෙයි' ආගමික උත්සවය සඳහා සහභාගිවන හින්දු බැතිමතුන් වෙනුවෙන් ආරම්භවන මගී නෞකා සේවය දින දහයකට පමණක් සීමා වනු ඇත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියා සිටියේ තමන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කොට ඒ සඳහා අවසර ලබා දුන් බවය.

කෙසේ වෙතත් එයට අවශ්‍ය ගමන් බලපත්‍ර, වීසා සහ නැව් ගාස්තු බැතිමතුන් විසින් දැරිය යුතු බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී ස්ථීර මගී නැව් සේවයක් ආරම්භ වනු ඇති බවටත් ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු පළ කළේය.

2017 වසරේ ජනවාරි 02 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වෙන ආගමික උත්සවයට සහභාගිවන හින්දු බැතිමතුන් දෙදහසකට පමණ එහි ළඟා වීම සඳහා මගී නෞකාවක් යොදා ගැනීමට අවසර ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව ''ශිව සේනා'' හින්දු සම්මේලනයේ ප්‍රධානි මරවන්පුලව් සච්ත්තානන්දන් කියා සිටියේය.

නෞකාවේ සේවය ලබා ගන්නා බැතිමතුන් සංඛ්‍යාව අනුව කන්කසන්තුරය වරායේ සිට දකුණු ඉන්දියාව තෙක් යාත්‍රා කෙරෙන ගමන් වාර ගණන තීරණය වනු ඇති බවත් ඔහු පැවසීය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්