"ආබාධිතයන් ගසා කෑමේ අලුත් උපක්‍රමයක්"

  • 2016 දෙසැම්බර් 19
ආබාධිත

ආබාධිත පුද්ගලයන් රවටා ඇතැම් පුද්ගලයන් මූල්‍ය වාසි ලබා ගැනීමට පෙලඹී ඇතැයි නැගෙනහිර පළාතේ ආබාධිත පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියා කරන සමිතියක් චෝදනා කරයි.

සිය අවශ්‍යතා ඉටුකර දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබා ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත් වී ඇතැයි ආබාධිත වූවෝ මැසිවිලි නගති.

නැගෙනහිර පළාතේ වෙසෙන ආබාධිත පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් යුද්ධයට ගොදුරු වූවන්.

ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයන් ගේ දිනය නිමිති කර ගනිමින් අද (දෙසැ.19) මඩකලපුවේ උත්සවයක් පැවති අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව දිස්ත්‍රික් ආබාධිත පුද්ගලයන් ගේ සමිතිය එක්ව එම උත්සවය සංවිධානය කොට තිබිණි.

"යුද්ධය පැවතුණ ප්‍රදේශවල, ආබාධිත පුද්ගලයන් සිය ගණනක් යුද සලකුණු ලෙස ජීවත් වෙනවා. ආබාධිත තත්වයට පත් එවැනි පුද්ගලයන්ගෙන් වාසි ලබා ගැනීම පිළිකුලට හා කනගාටුවට කරුණක්," උත්සවය ඇමතූ මඩකලපු දිස්ත්‍රික් ආබාධිත පුද්ගලයන් ගේ සමිති එකමුතුවේ සභාපති එස් පරමනන්දරාජා පැවසීය.

සිය ජීවිත යළි ගොඩ නගා ගැනීමට නොහැකිව දුකෙන් වේදනාවෙන් කල් ගෙවන ආබාධිත ජනතාවට රජය සහ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වී සහන සැලසිය යුතු බව ආබාධිත රජයේ සේවකයකුවන එස් පරමනන්දරාජා පෙන්වා දෙයි.

"ශ්‍රී ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නත් ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය බේල් ක්‍රමයට සැකසුණුඅධ්‍යාපනය හා සම්බන්ධ පොත්පත් ලබා දී නැහැ. ආබාධිත පුද්ගලයන්ගේ යහපත උදෙසා අධ්‍යාපන අමාත්‍යංශය එවැනි පොත් නිකුත් කල යුතුයි'' උත්සවයට සහභාගී වූ ආබාධිත පුද්ගලයකුවන එම් යධීස් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්